ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම උදෙසා ඊයේ (12දා) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මහ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ. ඒ මෙම මහ සභාවේදී පත් කරගත් නිලවරණ කමිටුව නීත්‍යනුකූල නොවන බවට විරෝධතාවක් දක්වමිනි. මීට හේතුව වී ඇත්තේ නිලවරණ කමිටුව පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නිකුත් කළ රෙගුලාසිවල පවතින දෝෂ කිහිපයක් හේතුවෙනි.
අදාළ රෙගුලාසිවල සාමාජිකයන්, ක්‍රීඩා සමාජ සහ අනුබද්ධ ආයතන වර්ග කිරීමේදී 2.4. (අ) වගන්තිය යටතේ (i) 'අ' ශ්‍රේණිය, (ii) 'ආ' ශ්‍රේණිය සහ (iii) 'ඈ' ශ්‍රේණිය ලෙස ඒවා වර්ග කර ඇතත් පසුව දැක්වෙන විධිවිධානවල දැක්වෙන්නේ (i) 'අ' ශ්‍රේණිය සඳහා A ශ්‍රේණිය ලෙසත් (ii) 'ආ' ශ්‍රේණිය B ශ්‍රේණිය ලෙසත් (iii) 'ඈ' ශ්‍රේණිය එලෙසමත් යනාදී වශයෙනි.
මෙම දෝෂ සහගත තත්ත්වය මත ක්‍රීඩා සමාජ කිහිපයක්ම ඊට විරෝධතාව දක්වා ඇතත් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ, එය අනාගතයේදී නිවැරදි කරන බවකි. මෙහිදී 'අද' පුවත්පතට අදහස් දැක්වූ විශේෂ මහා සභාවට සහභාගීවූ ක්‍රීඩා සමාජ කිහිපයක්ම පවසා සිටියේ, මෙවැනි දෝෂ සහිතව පත්වන නිලවරණ කමිටුවද නීත්‍යනුකූල නොවන බවයි.
එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ, තමන්ට මෙම රෙගුලාසි අනුව පැවැත්වූ විශේෂ මහා සභාව පිළිගත නොහැකි බවත්, මේ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට පෙත්සමක් ඉදිරිපත් කර සාධාරණයක් අපේක්ෂා කරන බවත්ය.
ඊයේ පැවැත්වූ විශේෂ මහා සභාවේදී දිවයිනේ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් එම ස්ථානයට පැමිණි නියෝජිතයෙක් පනතේ පවතින මෙම දෝෂ පෙන්වාදීමේදී පිරිසක් දිගින් දිගටම ඊට විරෝධතාවක් දක්වා ඇතැයි වාර්තා වේ.
මෙම විශේෂ මහ සභාවෙන් අනතුරුව පැමිණ සිටි ක්‍රීඩා සමාජවල නියෝජිතයන්ට ක්‍රිකට් ප්‍රබලයෙක් කොළඹ පිහිටි ක්‍රීඩා සමාජයක දිවා ආහාරයක් ලබාදී ඇති බවත්, ඔහු නිලවරණයට තරග කරන බවත් දන්වා සියල්ලන්ගෙන්ම සහාය ඉල්ලා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම නිලවරණ කමිටුව නීත්‍යනුකූල නොවන බවත් ක්‍රීඩා සමාජවල අදහස් යෝජනා චෝදනා හෝ විරෝධතා විමසීමක් මෙහිදී සිදු නොකළ බවත් ඊට සහභාගීවූ පිරිසක් පවසා සිටියහ.
එමෙන්ම එම නියෝජිතයන් අද (13දා) දිනයේදී නිලවරණ කමිටුව පත්කිරීම නීත්‍යනුකූල නැතැයිද එමෙන්ම ඒකපාර්ශ්විකව නිලවරණ කමිටුව පත්කර ඇතැයිද චෝදනා කරමින් පෙත්සමක් භාරදීමට නියමිත බවද අනාවරණය වේ.
ඊයේ පත්වූ නිලවරණ කමිටුවට හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි.එම්. අබේරත්න හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන යන මහත්වරු ඇතුළත්ව සිටියහ.
මීට අමතරව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මීට මාස දෙකකට පමණ පෙර අයි.සී.සී.ය සමග සාකච්ඡා කරගනු ලැබූ එකඟතාවකට අනුව නිලවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක්ද (Manegment Committee) පත්කර ඇති අතර, ඩිලාන් පිලිප්ස් (ජනාධිපති නීතිඥ) සමන්ත රාජපක්ෂ, මොහොමඩ් හිෂාම් ජමල්ඩීන්, රනිල් පතිරණ හා ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් එම පරිපාලන කමිටුව ඇතුළත් කර ඇත.