2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිත ක්‍රිකට් තරග විකාශන ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කරන බව 'අද'ට පවසා සිටියේය. ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පත් කළ සිව්පුද්ගල කමිටුව විසුරුවා හැරෙනු ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ සිව්පුද්ගල කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු නම් කර තිබුණි.
කෙසේ වෙතත් ඊට අයි.සී.සී. නියෝජිතයෙකු ඇතුළත් වුවත්, විගණන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් එහි පවතින විනිවිදභාවය මාධ්‍ය වෙතින් නිරතුරුව කතාබහට ලක් කළේය.
ඒ අන් කිසිවක් නිසා නොව මෙම ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කිරීමට අනිවාර්යයෙන් විගණන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්ද අදාළ කමිටුවට නම් කරන බව මාධ්‍ය හමු කිහිපයකදීම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පැවසූ හෙයිනි.
මීට අමතරව මේ වන විට කෝප් කමිටුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට යොමු කර ඇති අතර, එහි අක්‍රමිකතා සම්බන්ධයෙන් වගකිවයුත්තන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිළධාරීන් දෙදෙනෙකු ද නම් කර තිබේ.
මේ කාරණා සියල්ල සලකා බලමින් මේ වනවිට පවතින සිව්පුද්ගල කමිටුව වෙනුවට නව කමිටුවක් පත් කරන බව නව ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
“මේ වන විට පවතින කමිටුව ක්‍රිකට් තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් පමණයි පවත්වලා තියෙන්නේ. මම පැහැදිලිව කියනවා මුදල් කටයුතු සම්බන්ධයෙන් මට කවදාවත් නරක නාමයක් ගෑවිලා නැහැ කියල. එනිසා මේ සම්බන්ධයෙන් මම බොහොම විනිවිදව කටයුතු කරනවා. ඒ වගේම නව කමිටුවට දූෂණ චෝදනා තියෙන ක්‍රිකට් ආයතනයේ කිසිවෙකු පත් කරන්නේ නැහැ. මෙම නව කමිටුව අපි ඉතා ඉක්මනින් පත් කරනවා" යැයි වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේය.