ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ගොස් කල දැනුම්දීමකට අනුව ඔවුන් වෙත දේශපාලන බලපෑම් ඇතිදැයි සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ජනමාධ්‍ය හරහා දැනගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා තමන් සූදානම් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 2023.03.29 වන දින ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා යවා ඇත.
එයට පිළිතුරු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023.04.11 වන දින ලිපියක් මගින් මෙය රට තුළ ඇති ගැටලුවක් ලෙස හදුනාගත් බවත්, ඒ සදහා මේ මොහොතේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීම අවශ්‍ය නොවන අතර සාකච්ඡාවක් ද අවශ්‍ය නොවන බවට ප්‍රකාශයක් නිකුත් කළ ද මැයි 10 වන දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දීමක් සිදු කර ඇත.
දිවයිනට පැමිණි ඉම්රාන් කවාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සමඟ සාකච්ඡාවකින් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට පැමිණෙන බව දැනුම්වත් කර ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයෙන් මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් පෙර දැනුම්දීමක් සිදු කර නොමැති වූවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමෙන් ඊයේ (11දා) එම සාකච්ඡාව පැවැත්විණ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස සාකච්ඡාව තුළදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි. ඒ අනුව ඉදිරියට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නිවැරදි දේ කිරීමට තමාගේ සහයෝගය ලබා දෙන බව ද පැවසීය.
ලෝකයේ ප්‍රමුඛස්ථානයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ලෝක කුසලානය සඳහා තරග කිරීමට තේරීම් තරගවලට මුහුණ දීම දක්වා කඩා වැටී ඇති ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ තත්ත්වයෙන් නැවත නැගී සිටීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් බව ද පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් වගකීමට බැදී සිටින බවද සිහිපත් කළ අමාත්‍යවරයා ඉදිරියේදී සියලු පාර්ශවයන් සමඟින් නිවැරදි සැළසුමක් සහිතව වැඩ කටුයුතු කළ යුතු ආකාරය පැහැදිළි කර දුන්නේය.