නවසීලන්ත වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සත්කාරක එංගන්ත කණ්ඩායම එංගලන්තයේදීම පරාජය කර ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (13දා) සමත් විය.
දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලෙස බර්මින්හැම්හිදී පැවැති මෙම තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් ලැබීමට නවසීලන්තයට හැකි වූ අතර, ඒ සමඟ තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවිය.
මෙම තරගයේ සිව්වැනි දිනට අද (13දා) තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය, කඩුලු 09ක් ලකුණු 122ක් රැස්කරගෙන සිටියේය. ඒ වනවිට ඔවුන් නවසීලන්ත පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 37ක් පමණි. කෙසේ නමුත් ඔවුන්ගේ අවසන් කඩුල්ල දිනයේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම දවාගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා නවසීලන්තයට ලකුණු 38ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය කඩුලු 02ක් පමණක් දැවී පසුකර යාමට ඔවුන් සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 303/10 රැස්කළේය. ඊට පිළිතුරු ලෙස නවසීලන්තය තම පළමු ඉනිමට ලකුණු 388/10ක් රැස්කිරීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස පන්දු යැවීමෙන් වැඩි දක්ෂතා දැක්වූ මැට් හෙන්රි (3/78, 3/36) සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයාට හිමි සම්මානය තරග දෙකෙහිම පිත්තෙන් දක්ෂතා දැක්වූ ඩෙවොන් කොන්වේ (200, 23, 80, 03) විසින් දිනාගත්තේය.
නවසීලන්තය, එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 22කට පසුව වන අතර, අවසන් වරට ඔවුන් තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 1999 වසරේදීය. ඒ අනුව එංගලන්තයේදී එංගලන්තයට එරෙහිව මෙම ශතවර්ෂයේ නවසීලන්තය ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජය මෙය වෙයි.
නවසීලන්තය, එංගලන්තයේදී ලැබූ තෙවැනි (1986, 1999, 2021) තරගාවලි ජය මෙය වේ. එමෙන්ම එංගලන්ත දෙවැනි ඉනිම 122කට සීමාවීම සැලකෙන්නේ, ඔවුන් සිය රටේදී නවසීලන්තය හමුවේ දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙය බර්මින්හැම්හිදී නවසීලන්තය ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්රහණයද වන අතර, 2002 වසරේ සිට තරග 16කදී එංගලන්තය බර්මින්හැම්හිදී පරාජය වූ තෙවැනි ටෙස්ට් තරගය මෙය වෙයි.