අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද කල් දැමීමට ශ්රී ලංකා රග්බි සම්මේලනය කටයුතු කර තිබේ. ඒ කොවිඩ්-19 වෛරසය හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. මේ අතර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ “සුපිරි වටය” ක්රීඩා නොකරමින් තරගාවලියේ 14 වැනි සතියේ ලකුණු සටහනට අනුව මහනුවර ක්රීඩා සමාජයට ශූරතාව ලබා දීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ. මහනුවර සහ ගුවන් හමුදාව, ශ්රී ලංකා පොලීසිය සහ සී, එච්. සහ එෆ්. සී., හැව්ලොක් සහ නාවික හමුදාව, සී. ආර්. සහ එෆ්. සී. යුද හමුදාව අතර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියෙන් පසු ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතව තිබුණි.
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්රසාද ලකුණු සටහනට අනුව පළමුවැනි ස්ථානය ලබා ගත් කණ්ඩායම සහ ලකුණු සටහනේ අවසන් ස්ථානය ලබා ගත් කණ්ඩායම පළමු තරගයේ දී ක්රීඩා කරන අතර ඉන්පසු දෙවැනි ස්ථාන සහ 7 වැනි ස්ථානය ද, තෙවැනි ස්ථානය සහ හයවැනි ස්ථානය ද, සිව්වැනි ස්ථානය සහ පස්වැනි ස්ථානය ද ලබා ගත් කණ්ඩායම් අතර තරග පැවැත්වෙනු ඇත.