ජෙටින්දර් සිංගේ ශතක ඉනිම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට, ඕමානය හමුවේ කඩුලු 04ක අමිහිරි පරාජයක් අත්විඳීමට ඊයේ (14දා) සිදුවිය.
බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිල නැගීඑන කණ්ඩායම් කුසලාන එක්දින තරගාවලිය යටතේ මෙම තරගය කොක්ස් බාසාර්හිදී පැවැත්විණි.
ඕමාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට, පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 269ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම තරගය ලබාදිය හැකි සංඛ්‍යාවක් කරා ඔසවා තැබූ අශේන් බණ්ඩාර (62) හා නායක චරිත් අසලංක (57) පමණක් අර්ධ ශතක රැස් කරමින් දක්ෂතා දැක්වූහ.
ඕමානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සනුත් කඩුලු 03ක් බිඳලීමට සමත් විය. එකදු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයෙකු වන සනුත්, පළමුපෙළ තරගද ක්‍රීඩා කර ඇත්තේ 03ක් පමණක් වීම සුවිශේෂී වෙයි.
මෙහිදී ලකුණු 269ක ඉලක්කයක් හඹාගිය ඕමාන පිතිකරුවෝ තරගයේ 48.5 වැනි පන්දු වාරයේදී සිය ජයග්‍රහණය සම්පූර්ණ කර ගත්තේය. විශිෂ්ඨ ඉනිමක් ක්රීඩාරමින් කණ්ඩායමට ජයග්‍රහණය කරා රැගෙන ගිය ජෙටින්දර් කුමාර් නොදැවී ලකුණු 131ක් රැස්කිරීමට සමත් විය. ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩා කර ඇත්තේ තරග 05කට පමණක් වන අතර, එහිදී රැස් කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 23කි.
ජෙටින්දර්ට අමතරව සුරාජ් කුමාර් ලකුණු 70ක් රැස් කළ අතර, ඉන්දියාවේ උපත ලද ජෙටින්දර් හා සුරාජ් මුලු ලකුණු 4/90ක් ලෙස බිඳ වැටී තිබුණු ඕමාන ඉනිම ලකුණු 238ක් දක්වා ඉදිරියට රැගෙන ඒමට කටයුතු කළහ. ඔවුහු 05 වැනි කඩුල්ලට ලකුණු 148ක සබඳතාවක් පැවැත්වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වූයේ අමිල අපොන්සු පමණක් වන අතර, ඔහු කඩුලු 03ක් බිඳලීය.
මෙම තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ (14දා) පැවැත්විණි. එහිදී නේපාලය පරාජය කර කඩුලු 07ක ජයක් ඉන්දියාවට හිමිවූ අතර, හොංකොං පරාජය කළ බංග්ලාදේශයට කඩුලු 09ක ජයක් හිමි විය. පාකිස්තාන - ඇෆ්ගනිස්තාන තරගයෙන් කඩුලු 08ක ජයක් පාකිස්තානයට හිමිවිය. මෙහි තවත් තරග 04ක් හෙට (16දා) පැවැත්වේ.