ෂිකර් ධවාන්ගේ වේගවත් ශතකයත්, පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හමුවේ ප්‍රබල ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 36ක ජයක් ලැබීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් මෙය ඊයේ (09දා) ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්රීඩංගණයේදී පැවැත්විණි.
තරගයේ ලකුණු 353ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට සිය පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 316 ක් පමණි. මෙය ඔස්ට්‍රේලියාව අඛණ්ඩ තරග 10ක ජයග්‍රහණයට පසු ලැබූ පළමු පරාජය වීම විශේෂත්වයකි.
ඩේවිඩ් වෝනර් හා නායක ආරොන් ෆින්ච් ඔස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් රැගෙන දුන් අතර, ඔස්ට්‍රේලියානු ඉනිමේ මැදපෙළ ශක්තිමත් කළ ස්ටීවන් ස්මිත් ලකුණු 69ක් රැස් කළේ සිය 20 වැනි එක්දින අර්ධ ශතකය සනිටුහන් කරමිනි.
ඉනිමේ අවසාන භාගයේදී ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යෑමට පන්දු 35කදී ලකුණු 55ක් රැස්කළ ඇලෙක්ස් කැරේ ප්‍රබල උත්සාහයක නිරත වුවද එය ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමෙන් ජස්ප්‍රිට් බුම්රා හා බුවනේෂ්වර් කුමාර් කඩුලු 02 බැගින් බිඳ හෙළීය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉනිම ආරම්භ කරමින් පැමිණි ශිකර් ධවාන් හා රෝහිත් ෂර්මා පළමු කඩුල්ලට ලකුණු 127ක සබඳතාවක් එක් කළහ. ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වූ ශිකර් ධවාන් පන්දු 109කදී ලකුණු 117ක් රැස් කිරීමට සමත්විය. එය ඔහුගේ 17 වැනි එක්දින ශතකය විය.
ධවාන්ට අගනා සහයක් ලබාදෙමින් සිය සුපුරුදු රිද්මයට පැමිණි නායක විරාත් කෝලි ලකුණු 82ක් රැස් කළේය. ඉනිමේ අවසන් භාගයේදී ඉන්දියාව වේගවත් ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගිය හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 48ක් රැස් කළේ පන්දු 27කට පමණක් මුහුණදෙමිනි. ඒ අනුව සිය පන්දුවාර 50 අවසානයේ ඉන්දියානුවන් කඩුලු 05කට ලකුණු 352ක් රැස් කළේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මාකස් ස්ටෝනිස් කඩුලු 02ක් දවාළීය.