ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තෙවැනි තරගයෙන්ද ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 99 -24ක පරාජයක් අත්වින්ඳේය. මෙම තරගය එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (14දා) පැවැත්විණි.
තරගයේදී පන්දුව දැල තුළට විදීමේදී මෙන්ම පන්දුව ආක්‍රමණශීලී ලෙස රැගෙන යාමේදීද පිටියේ ඉතා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කිරීමට දුලාංගි වන්නිතිලක සමත් වූවාය. එසේම ලෝක ශ්‍රේණිගත කිරීම්හි 08 වැනි ස්ථානයේ පසුවන උතුරු අයර්ලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරගෙන තිබුණේද ලකුණු 24ක් පමණක් වීම සුවිශේෂීය.
ඒ අනුව ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරග පරාජයට පත්ව 'ඒ' කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් විය. එම කාණ්ඩයේ පළමු ස්ථානය ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමටද, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්තයට හිමි විය.
තරගාවලියේ දෙවැනි වටයේ තරග අද (15දා) ආරම්භ වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාව 13, 14, 15 සහ 16 වැනි ස්ථාන සඳහා තරග කිරීමට නියමිතය. සිංගප්පූරුව, ෆීජී සහ සැමෝවා කණ්ඩායම් සමගයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි වටයේ පළමු තරගය අද (15දා) සිංගප්පූරු කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03.00ට පැවැත්වීමට නියමිතය.
අනතුරුව හෙට (16දා) ෆීජී දේශය සමගද, අනිද්දා (17දා) සැමෝවා සමගද, ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතය. අද (15දා) තරගාවලියේ සිව්වැනි දිනයයි.
පැතුම් ශ්‍රී විජේරත්න (එංගලන්තයේ ලිවර්පූල් හි සිට)