ජර්මනියේ පැවැත්වෙන ප්‍රමුඛතම ලීග් පාපන්දු තරගාවලිය වන බුන්ඩෙස් ලීගා තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට බයර්න් මියුනිච් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග 29 වරක් මෙම ශූරතාවට හිමිකම් කියන බයර්න් මියුනිච් කණ්ඩායම, මෙවර එම ශූරතාවට හිමිකම් කීවේ අඛණ්ඩව 08 වැනි වරට වීමද විශේෂත්වයකි.
මෙවර තරගවාරය අවසන් කිරීමට තවත් තරග 02ක් (මුළු තරග 34) ඉතිරිව තිබියදී සිය 32 වැනි තරගයට පෙරේදා (16දා) මුහුණදුන් බයර්න් මියුනිච් කණ්ඩායම, වෙර්ඩර් බ්‍රෙමන් කණ්ඩායමට එරෙහිව ගෝල 1-0ක ජයක් ලැබීය.
තරගයේ වාර්තා වූ එකම ගෝලය 43 වැනි මිනිත්තුවේදී පෝලන්ත ජාතික රොබට් ලෙවන්ඩොව්ස්කි විසින් වාර්තා කරන ලදී. කෙසේ නමුත් මෙහිදී තරගයේ 79 වැනි මිනිත්තුවේදී බයර්න් කණ්ඩායමේ අල්පොන්සේ ඩේවිඩ්ට කහ කාඩ්පත් දෙකක් ලබාදීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ අතර, ඒ අනුව බයර්න් කණ්ඩායම ක්‍රීඩාකළේ ක්‍රීඩකයන් දස දෙනෙකුගෙන්ය.
මෙම ජයග්‍රහණයත් සමග බයර්න් කණ්ඩායම සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 76ක් දක්වා ඉහළ දමා ගත්තේය. ඔවුන් මේ වනවිට තරග 32කට ක්‍රීඩා කර ඉන් තරග 24ක්ම ජයගෙන සිටියි. මීට අමතරව බයර්න් කණ්ඩායම තරග 04ක් පරාජය වී ඇති අතර, තරග 04ක් ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන සිටියි.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන බොරුසියා ඩොට්මන්ඩ් කණ්ඩායම තරග 31කට සහභාගි වී ඉන් තරග 20 ජයගෙන සිටියත්, ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 66ක් පමණි. බොරුසියා කණ්ඩායම තරග 05ක් ජයපැරදුමෙන් තොරව අවසන් කරගෙන ඇති අතර, තරග 05ක් පරාජය වී ඇත.
යුරෝපයේ පැවැත්වෙන ජනප්‍රියම ලීග් තරගාවලි පහෙන් එකක් ලෙස බුන්ඩේස් ලීග් තරගාවලිය සැලකෙන අතර, අඛණ්ඩව තරගවාර අටකදී ශූරතාව දිනාගත් දෙවැනි පාපන්දු කණ්ඩායම ලෙස බයර්න් මියුනිච් මේ වනවිට වාර්තා අතරට එක්ව සිටියි. ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමද එරට "සේරි-ඒ" තරගාවලිය අඛණ්ඩව 08 වරක් (2011/12 - 2018/19) මීට ඉහතදී ජයගත්තේය.