අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරගාවලිහි ඉදිරි තරග සැලසුම් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් ඊයේ (01දා) රාත්රියේදී නිවේදනය කළේය. ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත්, එක්දින හා විස්සයි20 ලෝක කුසලානයේ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ශූරයන්ගේ කුසලානය නැවත වරක් පැවැත්වීමටත් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය තීරණය කර ඇත.
එක්දින ලෝක කුසලානයේ නව සැලසුම්
එක්දින පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 2027 හා 2031 වර්ෂයන්හි පැවැත්වෙන තරගාවලිහි කණ්ඩායම් සංඛ්‍යාව 14ක් දක්වා වැඩිකිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව තරග සංඛ්‍යාව 54ක් දක්වා වැඩිවනු ඇත. එක්දින (පන්දුවාර 50) ලෝක කුසලාන ආකෘතිය මේ වනවිට පැවැත්වෙන්නේ කණ්ඩායම් 10ක සහභාගිත්වයෙනි.
නව සැලසුම් අනුව කණ්ඩායම් 07 බැගින් කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර, සෑම කාණ්ඩයකම ඉහළින්ම සිටින තිදෙනා %සුපර් සික්ස්^ වටයට සුදුසුකම් ලබයි. එහිදී දක්වන දක්ෂතා අනුව අවසන් පූර්ව වටයටත්, අවසන් මහා තරගයටත් සුදුසුකම් ලැබීමට කණ්ඩායම්වලට අවස්ථාව උදාවේ.
2003 වසරේ දකුණු අප්‍රිකාවේ ප්‍රධාන සත්කාරකත්වය යටතේ අප්‍රිකානු කලාපයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී මෙම ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය.
විස්සයි20 ලෝක කුසලානයේ වෙනස්කම්
විස්සයි20 ලෝක කුසලානයේ කණ්ඩායම් සංඛ්‍යාව 20ක් දක්වා වැඩිකර ඇති අතර, ඒ අනුව පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් හතරකින් තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව තරග සංඛ්‍යාවද 55ක් දක්වා වැඩිවනු ඇත.
සෑම කාණ්ඩයකම ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් අටක් %සුපර් එයිට්^ වටයට පිවිසේ. එම වටයේ දක්වන දක්ෂතා අනුව අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට කණ්ඩායම් සුදුසුකම් ලබයි. 2024, 2026, 2028 සහ 2030 යන වර්ෂයන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්හි මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අයි.සී.සී.ය බලාපොරොත්තු වේ. මීට පෙර විස්සයි20 ලෝක කුසලානය පැවැත්වූයේ කණ්ඩායම් 16ක සහභාගිත්වයෙනි.
ශූරයන්ගේ කුසලානය යළිත්
අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය යළිත් වරක් පැවැත්වීමට අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව 2025 සහ 2029 වර්ෂයන්හි කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් ශූරයන්ගේ කුසලානය පැවැත්වීමට තීරණය කර ඇත.
පෙර තරග පැවති අයුරින්ම මෙහි තරග පැවැත්වෙන අතර, ඒ අනුව කණ්ඩායම් 04ක් අවසන් පූර්ව වටයටත්, ඉන් කණ්ඩායම් දෙකක් අවසාන මහා තරගයටත් පිවිසේ.
පුංචි ලෝක කුසලානය (Mini World Cup) ලෙසින් හැඳින්වෙන මෙම තරගාවලිය පළමු වරට 1998 වසරේදී බංග්ලාදේශයේ ආරම්භ වූ අතර, අදියර 08කට පසු එනම් ඉකුත් 2017 වසරෙන් පසු මේ දක්වා පැවැත්වීමට නොහැකි විය.
ටෙස්ට් ලෝක ශූරතාව
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නව පිවිසුමක් ලබාගනිමින් අයි.සී.සී. විසින් හඳුන්වාදුන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ඉදිරියේදීද පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව මේ දක්වා පැවැත්වෙන ආකෘතියෙන් තරග පවත්වා 2025, 2027, 2029 සහ 2031 යන වසර වලදීද අවසාන මහ තරග පැවැත්වීමට තීරණය කර ඇත.
පළමුවරට පැවැත්වෙන අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්තය හා ඉන්දියාව මේ වනවිට සුදුසුකම් ලබා සිටින අතර, එම තරගය එළබෙන ජූලි මාසයේදී එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.