යොහාන් භාසුර (ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (17දා) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන තරගාවලියේ පැවැත්ම තීරණය කරන තරගය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු තරගයේ පරාජයෙන් පසුව පැවසීය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩුබායිහිදී පෙරේදා (15දා) පැවැති පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 137ක දැවැන්ත පරාජයක් ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් මෙසේ පැවසීය.
"ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය අනිවාර්යයෙන්ම අපිට පීඩනයක් වෙනවා. අපිට එක විකල්පයයි තියෙන්නේ ඒ ජය ලැබීමයි. එම තරගය අපි තරගාවලියේ රැඳීසිටීම සහ ඉවතට විසිවීම තීරණය කරන තරගයක්.
එක දවසක් හොඳ දවසක් වෙන්න පුළුවන්, තවත් දවසක් ඉතාමත් දුර්වල දවසක් වෙන්න පුළුවන්. තරගාවලිය ආරම්භයේදී මම කිව්වේ එක තරගයක් පරාජය වුණොත් පීඩනය එනවා කියලා. මේ තරගය ජයගෙන තරගාවලියේ සජීවිව ඉන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් එය කරන්න බැරිවුණා.
අපි හැකි ඉක්මනින් සකස් විය යුතුයි. එක පුහුණු සැසියකින් පසුව අබුඩාබිවලට යනවා. එදිනම තරගයට සහභාගි වෙනවා. නමුත් අපි අද (පෙරේදා) තරගයේදී අතපසුවීම් ගොඩක් හඳුනා ගත්තා. ඒවා හදාගෙන ඉදිරියට යනවා.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අබුඩාබිහි ශීක් ශයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17දා) දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය අබුඩාබි වේලාවෙන් ප.ව. 3.30 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය.
පෞද්ගලික හේතුවක් මත සංචිතයට එකතු නොවූ පිට දඟ පන්දු යවන අකිල ධනංජය ඊයේ පෙරවරුවේ ඩුබායිහිදී සංචිතයට එකතුවූ අතර, අකිල අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.
බංග්ලාදේශ හමුවේ පරාජයට හේතුව මැතිව්ස් මෙසේ පැහැදිලි කළේය.
“අපේ පන්දුවට පහරදීම දුර්වල වුණා. මෙම තණතීරුවේ ලකුණු 262ක් කියන්නේ ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක්. තණතීරුව ඉතාමත්ම හොඳ එකක්. නමුත් අපි වැරදි පහරවලට ගියා. අවාසනාවකට පිතිකරුවෝ දුර්වල පහර තෝරාගත්තා. ලසිත් මාලිංග විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නා. ලකුණු තුනකට කඩුලු තුනක් ලබාගත්තා. ඉන් පසුව තීරණාත්මක උඩපන්දු කීපයක් අතහැරියා. ලසිත්ගේ පන්දු යැවීම අගය කළ යුතුයි".