පසුගිය දෙසතිය තුළ දකුණු අප්‍රිකාවේ සිටි ඕනෑම පුද්ගලයෙකු අනිවාර්ය නිරෝධායනයකට යටත් විය යුතු යැයි එංගලන්ත රජය නියම කර තිබියදීත්, එංගලන්ත ක්‍රීඩකයන් නිරෝධායනයෙන් නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මස 02 වැනිදා සැලසුම් කර ඇති පරිදි පවත්වාගෙන යාමට නියමිතය.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් නැවතී සිටි හෝටලයේ ජෛව සුරක්ෂිතතාව පිළිබඳ සෑහීමකට පත් නොවුණු එංගලන්ත එක්දින සංචිතය මීට දෙසතියකට පෙර එනම් මෙම මස 10 වැනි දින දකුණු අප්‍රිකාවෙන් ආපසු මවු රට බලා පැමිණියේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අතහැර දැමීමෙන් පසුවය. ඊට තවත් හේතුවක් වූයේ දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට කෝවිඩ් -19 ආසාදනය වීමය.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පසුගිය බදාදා (23දා) ඩව්නිං වීදියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ වනවිට කෝවිඩ් -19හි නව ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත්, නත්තල් සහ අලුත් අවුරුදු සමය සංචිතයේ සාමාජිකයන් නිරෝධායනය කිරීමට සිදුවනු ඇතැයි බියක් තමා තුළ වූ බවත්ය. ඊට හේතුව වනුයේ දකුණු අප්‍රිකාවෙන් මෑතකදී පැමිණි දෙදෙනෙකු ඔවුන් සමග සම්බන්ධ වී ඇති බව හඳුනා ගැනීම නිසාය.
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු සංචාරයේදී සහ ඉන් පසුව ක්‍රීඩකයන් ආසාදනයෙන් ආරක්ෂා කිරීමට ගන්නා ක්‍රියා මාර්ගයක් ලෙස ක්‍රීඩකයන් නිරෝධායනයෙන් නිදහස් කරන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
“දකුණු අප්‍රිකානු සංචාරය අතරමැද එංගලන්තයට පැමිණි එක්දින සංචිතයේ ක්‍රීඩකයන්. සහායක කාර්ය මණ්ඩලය මේ වනවිට 'එලයිට් ස්පෝර්ට්ස් ඉන්ටර්නැෂනල්හි' සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිටින නිසා මෙම කාලය තුළ, ඔවුන් අඛණ්ඩව පරීක්ෂණවලට භාජනය වී ඇති අතර, ඔවුන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් සිදුව නොමැත. එනිසා තවදුරටත් මෙම ක්‍රීඩකයන් නිරෝධායනය කිරීම අවශ්‍ය නොවේ.” යන්න එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත.
මේ අතර එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පසුගිය මාර්තු මාසයේදී කල් දැමීමෙන් පසුව ලබන වසරේ ජනවාරි මස 02 වැනිදා එම තරගාවලිය පැවැත්වීමට මේ වනවිට සූදානම් වෙමින් පවතී. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ශක්‍යතාව පිළිබඳ තවමත් ප්‍රශ්නාර්ථයක් පවතී. මෙම සතිය මුලදී, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක්ම එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, එංගලන්තයෙන් හඳුනාගෙන ඇති කෝවිඩ් -19 නව ප්‍රභේදය 70%කින් සම්ප්‍රේෂණය වන බවද සොයාගෙන තිබේ.
මේ වනවිට ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ආරක්ෂාකාරීව පුහුණුවීම් කරයි. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලය එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සම්බන්ධ වී කණ්ඩායම්වල ජෛව ආරක්ෂිත බුබුල තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා පවත්වමින් සිටී.
එංගලන්ත කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර, දින 10ක අනිවාර්ය නිරෝධායනයකට යටත් කිරීමට නියමිතය. එමෙන්ම එම කාලය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පුහුණුවීම් සිදු කිරීමටද ඔවුනට ඉඩ ප්‍රස්තාව ලබාදී තිබේ. මීට අමතරව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දින තුනෙන් හයෙන් සහ දහයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිතය. එමෙන්ම අවශ්‍ය වුවහොත් අතිරේක සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවේ.
පැතුම් ශ්‍රී විජේරත්න (ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙනි)