කොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව පුණ්‍යාධාර එක් රැස් කිරීමට තරග 03කින් යුත් එක්දින තරගාවලියක් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්විය යුතු යැයි පාකිස්තානු හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් කළ යෝජනාවට ඉන්දියාවට ප්‍රථම වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාදුන් නායක කපිල් දේව් දැඩි විරෝධයක් එල්ල කර තිබුණි.
කපිල් දේව් පවසනුයේ මෙම අවස්ථාවේ ක්‍රිකට් තරග පැවැත්වීම ජීවිත අවදානමකට ලක් කිරීමත් බවත් එහෙයින් කළ යුතු වන්නේ ඉන්දියාව අනෙකුත් ජාතීන්ට උදව් කිරීම බවත්ය.
'ඉන්දියාවට මුදල් අවශ්‍ය නැහැ. අනික ක්‍රිකට් තරඟයක් සඳහා ජීවිත පරදුවට තැබීම තුළ කිසිදු වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අක්තාර්ට ඔහුට කැමති මතයක් දරන්න අයිතිය තිබෙනවා. නමුත් අපට මුදල් රැස් කිරීමට අවශ්‍ය නැහැ. අපට මේ තියෙන දේවල් ප්‍රමාණවත්. අපට දැන් වැදගත් වන්නේ මෙම අර්බුදයට මුහුණ දීම සඳහා අපගේ බලධාරීන් සමග එක්ව කටයුතු කරන ආකාරයයි. දේශපාලකයන්ට රූපවාහිනියෙන් දොස් පැවරීම නැවැත්විය යුතුයි' කපිල් දේව් පවසා තිබිණ.
'මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් කෝටි 51 ක් පරිත්‍යාග කර තිබෙනවා. අවශ්‍යතාවය ඇති වුවහොත් තවත් බොහෝ දේ පරිත්‍යාග කිරීමට හැකියාවක් තිබෙනවා. එයට අරමුදල් රැස් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අවම වශයෙන් ඉදිරි මාස හය සඳහා පවා ක්‍රිකට් ක්‍රීඩාව වැදගත් නොවන බව වටහාගත යුතුයි. තරඟ තුනකින් ඔබට කොපමණ මුදලක් උපයා ගත හැකිද? මගේ මතය අනුවල ඉදිරි මාස පහ හය දක්වා ඔබට ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිතිය නොහැකියි. මේ මොහොතේ අවධානය යොමු විය යුත්තේ ජීවිත බේරා ගැනීම සහ අගුලු දැමීමේ තත්වයක් තුළ අවශ්‍යතා සපුරාලීමට අරගල කරන දුප්පතුන් රැකබලා ගැනීම කෙරෙහි පමණයි. මේ දේවල් සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ වේවි. ක්‍රීඩාව රටට වඩා විශාල නොවිය යුතුයි. දැවෙන ප්රශ්නය වන්නේ දුප්පතුන්, රෝහල් සේවකයින්, පොලීසිය සහ මෙම යුද්ධයේ පෙරමුණේ සිටින අනෙකුත් සියලු දෙනා රැකබලා ගැනීමයි' 61 හැවිරිදි කපිල් දේව් වැඩිදුරටත් පැවසීය.