ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වූයේය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට ලකුණු 173ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 4ක් දැවී ඉලක්කය පසුකර ගියේය.
ශ්රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට කුසල් මෙන්ඩිස් (57) හා පැතුම් නිශ්ශංක (52) සමත්වූහ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 11.1කදී ලකුනු 97ක් රැස්කිරීමට සමත්වූහ.
කෙසේ වෙතත් පළමු කඩුල්ල ලෙස පැතුම් දැවී යාමත් සමගින් චරිත් අසලංක ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර ධනුෂ්ක ගුණතිලකට රැස්කළ හැකිවූයේ එක් ලකුණක් පමණි.
ශ්රී ලංකාව කඩුලු හතරක් දැවී ලකුණු 110ක් රැස්කරගෙන සිටින විට පස්වැනි කඩුල්ලට නායක දසුන් ශානක (33), භානුක රාජපක්ෂ (25) නොබිඳුණ සබඳතාවක් ගොඩනගමින් තරගය ශ්රී ලංකාව දෙසට ගෙන ආහ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහ්ති ශර්මා පන්දු 41කදී වේගවත් ලකුණු 72ක් රැස්කිරීමට සමත්වූයේය.
පන්දුයැවීමෙන් මෙන්ම පිත්තෙන් දක්ෂතා දැක්වූ නායක දසුන් ශානක තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.