මෙරට දේශීය ක්‍රිකට් පිටියේ පසුගිය කාලය පුරාම විවාදයට තුඩු දුන් ක්‍රිකට් තරග පාවාදීම් සොයා බැලීමට විමර්ශනයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ පැවසුවද විමර්ශනයක් කෙසේ වෙතත් ඒ සඳහා කමිටුවක් හෝ මෙතෙක් පත් කර ගැනීමට හෝ අමාත්‍යවරයාට හැකියාව ලැබී නොමැත.
එමෙන්ම මාස 02ක් තුළදී එම විමර්ශනය සිදුකර එහි ප්‍රතිඵල මාධ්‍යයට ලබාදෙනවා යැයි පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා අද වන විට ගොළු වී ඇතැයිද ක්‍රීඩාවට හිතැති විවිධ පිරිස් පෙන්වා දෙති.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග ක්‍රීඩාවේ දූෂණය සහ නිලධාරීකරණය වීම වැළැක්වීමට උත්සහ ගත්තද එම උත්සාහයන් අද වනවිට ගඟට කැපූ ඉනි මෙන් ව්‍යර්ථයක් බවට පත් වී ඇත්තේ මෙරට දේශීය ක්‍රිකට් පිටියේ මහත් ආන්දෝලනයට තුඩුදුන් තරග පාවාදීම් සහ තැත්කිරීම් සම්බන්ධ සිද්ධිද යට ගොස් ඇති හෙයිනි.
මෙහිදී වඩාත් කතාබහට ලක්වූ පානදුර සහ කළුතර කායවර්ධන කවය අතර පැවැති දේශීය ක්‍රිකට් තරගයේ තරග පාවාදීමක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීමද, ඒ හා සම්බන්ධ විමර්ශනයද ඊට ඇතුළත්ය.
වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් මාස 02ක් ඇතුළත විමර්ශනයක් සිදු කර ප්‍රතිඵල දන්වන බවයි. එහෙත් මේ වන විට එම ප්‍රකාශය සිදු කර මාස 06කටත් වැඩි නමුත් විමර්ශනයක් හෝ පශ්චාත් පරීක්ෂණයක්වත් සිදුව නොතිබීම කණගාටුවට කරුණකි. ඒ සම්බන්ධයෙන් මේ වන විට මෙම සිද්ධිය සිතාමතා යට ගැසීමට හෝ ඒ සම්බන්ධ පරීක්ෂණයක් හෝ එසේත් නොමැති නම් පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට පියවර නොගැනීම හේතුවෙන් අමාත්‍යවරයාටම චෝදනා කරන පිරිස්ද වෙති.
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවේ වරදවල් සිදුකිරීමට එරෙහිව නව නීති රෙගුලාසි පාර්ලිමේන්තුවට ගෙනැවිත් ක්‍රීඩාව දූෂණයෙන් තොර ස්ථානයක් බවට පත් කිරීමට උත්සහ ගෙන තිබුණද මෙරට දේශීය ක්‍රිකට් පිටියේ සිදුවුවා යැයි පැවසෙන මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපොහොසත්ව සිටියි. එහෙයින් නැවතත් අමාත්‍යවරයාට පැවසිය යුතුව ඇත්තේ 'ඇමතිතුමෝ! දේශීය ක්‍රිකට් තරග පාවාදීම් සොයා බලනවා කියූ විමර්ශනය කෝ?' යන්නයි.