2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගකරුවා ලෙස අශ්වාරෝහක තරග ඉසව්වේ අසුපැන්නීමේ ඉසව්වට සහභාගි වූ මැතිල්ඩාට, ඇගේ චොපින් අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට (03දා) සිදු වූවාය.
කෙසේ නමුත් ඔලිම්පික් ඉතිහාසයේ අසුපැන්නීමේ තරග ඉසව්වකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා වන ශ්‍රී ලංකා-ස්වීඩන ද්විත්ව පුරවැසිභාවය හිමි මැතිල්ඩා පවසා සිටියේ, තමන්ගේ ක්‍රීඩා ගමන ඔලිම්පික් උළෙලින් නොනවතින බවයි. ඉදිරියේ පැවැත්වෙන ආසියානු හා ලෝක ශූරතාවලියටද සහභාගි වන බව ශ්‍රී ලංකා මාධ්‍යවෙත ඇය පැවසුවාය.
අශ්වාරෝහක (equestrian) තරග ඉසව්වේ අසුපැන්නීමේ (Show jumping) ඉසව්වට සහභාගි වූ මැතිල්ඩා තරගවැඳි චොපින් අශ්වයා, බාධක පැනීම් 14ක් අතරින් ගමන්කළේ 07 වැනි අවස්ථාව දක්වා පමණි. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැති මෙම ඉසව්වට තරගකරුවන් 73 දෙනෙකු තරගකළ අතර, ඉන් 30 දෙනෙකුට පමණක් දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව උදා වූහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිල්ඩා,
"මම පරාජය වුණා කියලා හිතන්නේ නැහැ. මේ ලබාගත් අත්දැකීම මට ලබන වසරේ සාර්ථක වසරක් වීමට ඉවහල් වේවි. විශේෂයෙන් ලබන වසරේදී පැවැත්වෙන ලෝක ශූරතාව සහ ආසියානු ශූරතාවට වැදගත් වෙයි. ඒ වෙනුවෙන් මම දැන්ම ඉදන් වැඩ පටන් ගන්නවා. මෙම තරගාවලි දෙකම ලබන වසරේ තිබෙන නිසා මගේ චොපින්ට (අශ්වයා) තවත් වසරක පුහුණුවක් ලබාගැනීමටත් හැකිවෙනවා.
කෙසේ නමුත් මෙම තරගාවලි දෙකම කරන්න මගේ අශ්වයාට කළහැකි වේවිද කියන්න බැහැ. සමහර විට එයා ලෝක ශූරතාවට පමණක් මාත් එක්ක ඉදීවි. ආසියානු ක්‍රීඩා උළෙලට වෙනත් අශ්වයෙකුගේ සහායක් සොයන්න වේවි. ලෝක ශූරතා තරගාවලියේ අවසන් වටය දක්වා ඉදිරියට යෑම මගේ එක් ඉලක්කයක්. නමුත් ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් කරා යෑම මගේ ප්‍රධාන ඉලක්කයක්. එය එසේම වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් මම ඉන්න රටට (ජර්මනිය) ගිහින් තරගකාරී අශ්වයෙකු සොයා ගැනීමට උත්සාහ කරනවා. ජයග්‍රහණය කරන වේගවත් අශ්වයෙකු මට අවශ්‍යයි.
මේ අතර පෙරේදා (04දා) පැවති තරගය සම්බන්ධයෙන්ද මැතිල්ඩා අදහස් දැක්වූවාය.
&මම මීට වඩා ලොකු දෙයක් කිරීමට බලාපොරොත්තු වුණා. නමුත් එය කිරීමට නොහැකි වීමට ගැන කළකිරීමක් තිබෙනවා. මෙවැනි තරගාවලියකදී හැකි උපරිමය කරන්න ඕන. එහෙම නොවුණොත් අත්වන ඉරණම අතිවිශාලයි. මමයි මගේ චෝපිනුයි (අශ්වයා) මෙතන ඉන්න බව මුළු ලෝකයට පෙන්නුවා. මම අද පරාජය ලැබුවත්, මෙවැනි දැවැන්ත ක්‍රීඩා උළෙලකට සහභාගිවීම ජයග්‍රාහණයක්. ඒක මට ලොකු දෙයක්.
මේක මගේ පළමු ඔලිම්පික් ගමන. ඔලිම්පික් තරග බිමට පිවිසීමත් මම ලැබූ ලොකු ජයග්‍රහණයක්. මේ සමාන අත්දැකීමක් මට මීට පෙර ලැබුණා නම්, අද අපි දෙන්නට (අශ්වයා සමඟ) ලොකු දෙයක් කරන්න තිබුණා. මෙය මගේ ජීවිත කාලය පුරාවටම මට මතක තබාගත හැකි දෙයක්" යැයි මැතිල්ඩා පැවසුවාය.
සංජීව ධර්මසේන/ජපානයේ ටෝකියෝ නුවර සිට