ආසියානු රග්බි සම්මේලනය මගින් මෙහෙයවන ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර අද (13දා) ශ්රී ලංකාවේදී පැවැත්වේ.
තරගාවලිය අද (13දා) හා හෙට (14දා) දෙදින තුළදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, මේ සඳහා ශ්රී ලංකාව ඇතුළු රටවල් 08ක් තරග වදියි.
එහිදී ශ්රී ලංකාව 'බී' කාණ්ඩයෙන් තරග වදින අතර, එයට හොංකොං, චීනය හා චීන තායිපේ ඇතුළත් වේ. එමෙන්ම 'ඒ' කාණ්ඩයට ජපානය, ද. කොරියාව, පිළිපීනය හා මැලේසියාව ඇතුළත් වේ.
තරගාවලියේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් 14 හා 15 යන දෙදින හොංකොංහිදී පැවැති අතර, එහිදී ශ්රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් එහි දෙවැනි අදියර ලෙස දකුණු කොරියාවේදී පසුගියදා (සැප්තැම්බර් 29 හා 30) පැවැති තරගාවලියේදී ශ්රී ලංකාව හයවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.
තරගාවලියේ දෙවැනි අදියරේදී නායකත්වය දැරූ සුදර්ශන මුතුතන්ත්රී ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තෙවැනි අදියරේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහනුවර ක්රීඩා සමාජයේ ක්රීඩක ශ්රීනාත් සූරියබණ්ඩාර විසින් දරනු ලබයි.
කෙසේ වෙතත් තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි නොවූ ධනුෂ්ක රංජන්, ගයාන් වීරරත්න, කවිඳු ද කොස්තා හා ඔමල්ක ගුණරත්න මෙම අදියර සහභාගි වන බව ශ්රී ලංකා රග්බි සංගමය දැනුම් දෙයි.
මේ අතර, මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන ආසියානු සත්සාමාජික කාන්තා තරගාවලියේ තෙවැනි අදියරද කොළඹ තුරඟ තරග පිටියේදී මෙම තරගාවලිය අතරතුර පැවැත්වේ. මෙවර තරගාවලියේ පළමු අදියර ද්විත්වයේදීම (හොංකොං හා දකුණු කොරියාව) පලඟ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූහ.
තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා පිරිමි කණ්ඩායම
ශ්රීනාත් සූරියබණ්ඩාර (නායක), ධනුෂ්ක දයාන්, ධනුෂ්ක රංජන්, ගයාන් වීරරත්න, සුදම් සූරිය ආරච්චි, නවීන් හේනකංකානම්ගේ, කෙවීන් ඩික්සන්, රීසා රෆායිඩන්, කවිඳු පෙරේරා, ඔමල්ක ගුණරත්න, අදීෂ වීරතුංග, දිනුක් අමරසිංහ
තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා කාන්තා කණ්ඩායම
සංජීවනී ද සිල්වා (නායිකා), වාසනා වීරක්කොඩි, තනූජා වීරක්කොඩි, අයේෂා කළුආරච්චි, අයේෂා පෙරේරා, තීක්ෂණා ලියනගේ, දුලානි පල්ලිකොන්දගේ, දසුනි ද සිල්වා, දිලිණි කාංචනා, ජීවන්ති ගුණවර්ධන, නදීකා මුණසිංහ, කුමාරි දිල්රුක්ෂි