පැතුම් ශ්‍රී විජේරත්න (සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ත ක්‍රීඩාංගනයේ සිට)
11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 137-05 ක ජයක් ලැබීමට සමත්විය.
මෙවර ආසියානු දැල්පන්දු තරග ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.
තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ඊයේ (01දා) පැවැත්විණ. තරගයේ පලමු කාර්තුව චීන තායිපේ කණ්ඩායමට ලකුනු 02 ක් පමණක් ලබා දෙමින් ලකුණු 37 ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අනතුරුව දෙවැනි කාර්තුව වඩාත් වේගවත්ව ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී තායිපේ ක්‍රීඩිකාවන්ට ලකුණු ලබා නොදී තවත් ලකුණු 37 ක් තම ලකුණු පුවරුවට එක් කළේ මෙවර ශූරතාව දිනාගන්නා කණ්ඩායම් අතර ඉහළම බලාපොරොත්තු තබමිනි.
තෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32 ක් රැස් කර ගනිද්දී චීන තායිපේ ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමනි. ඒ අනුව තෙවැනි කාර්තුව නිමාවන විට ශ්‍රී ලංකා කන්ඩායමේ ලකුණු තත්ත්වය දිස්වූයේ ලකුණු 106-03 ක් වශයෙනි.
අවසන් කාර්තුවේදී රිද්මය ගිලිහි යාමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තවත් ලකුණු 31 ක් ලකුණු පුවරුවට එක් කළේ සමස්ත ලකුණු ප්‍රමාණය 137-05ක් ලෙස පළමු තරගයෙන් දැවැන්ත ජයක් ලබමිනි.
මැලේසියාව සහ ජපාන කණ්ඩායම අතර තරගය පැවැත්වුණ අතර, එම තරගයෙන් ලකුණු 88-13 ක (22-05, 26-01, 23-03 සහ 17-04) ජයක් මැලේසියානු කන්ඩායමට හිමිවිය. මෙම තරගයේදී ජපාන කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු (හෙලංකා වීරසේකර සහ තිලිනි පෙරේරා) තරග කිරීම සුවිශේෂිය.