එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේදී අද සන්ධ්‍යාවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැති අතර, එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ, කිසිදු කණ්ඩායමක් ගැන සුළුවෙන් නොහිතන බවත්, සෑම තරගයකදී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
&ආසියාවේ තිබෙන දැවැන්තම තරගාවලිය මෙය. පසුගිය දේවල් හිතන්නේ නැහැ, මෙය අපිට අලුත් අභියෝගයක්. සෑම තරගයක්ම අපිට වැදගත්. ඒ නිසා අපේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. කිසිම කණ්ඩායමක් සුළුවෙන් හිතන්නෙ නැහැ* යැයි පැවසීය.
ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසා සිටියේ, කණ්ඩායමේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන දෙවැනි වටයට සුදුසුකම් ලැබීම ප්‍රධාන ඉලක්කය බවයි. &මූලික වටයේ අපට හමුවන ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශයට ප්‍රහාරාත්මක කණ්ඩායම් දෙකක්. නමුත් අපේ අරමුණ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන දෙවැනි වටයට සුදුසුකම් ලැබීමයි. ඒ වගේම ලසිත් මාලිංග කණ්ඩායමට එක්ව තිබීම ශක්තියක්. ඔහු ඉනිමක අවසන් පන්දුවාර කිහිපය යැවීම සම්බන්ධයෙන් ලොව සිටින විශිෂ්ටයෙක්*.
මෙහිදී අදහස් දැක්වූ කණ්ඩායම් කළමනාකරු චරිත් සේනානායක මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් අකිල ධනංජය (පෞද්ගලික හේතුවක් මත) පිටත්ව නොයන බවයි. කෙසේ නමුත් ඔහු පසුව කණ්ඩායම සමගින් එක්වෙනවා. ක්‍රිකට් තරග කාලසටහනේ තිබෙන වැදගත්ම තරගාවලියක් මෙය. ඒ වගේම ශ්‍රී ලංකාවටත් ඉතා වැදගත්.
ලසිත් මාලිංග සිය තරග සංචාරයට ඇති සූදානම ගැන මෙලෙස අදහස් දැක්වීය. &මගේ ලොකු බලාපොරොත්තු එදත් තිබුණෙ නැහැ අදත් නැහැ. මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායමේ 11 දෙනා අතරට එන්න. එහෙම ආවොත් ලැබෙන තරගය හොඳින් ක්‍රීඩා කරන්න කටයුතු කරනවා. මම හොඳින් ක්‍රීඩා කළොත් මට ඊළඟ තරගය ලැබෙයි. එහෙම නැති වුණොත් ලැබෙන දේ භාරගන්න බලාගෙන යනවා. මගේ ශරීර යෝග්‍යතාව මට විශ්වාසයි. මගේ ක්‍රිකට් බලපු කෙනෙක් ඉන්නාවානම් එයා දන්නවා මම පන්දුවාර 50 තරග ක්‍රීඩාකළේ කොහොමද කියලා. මම සාර්ථක වුණ අවස්ථා කවුරුත් දැකලා තිබුණේ නැහැ, මගේ අසාර්ථක දේ දැකපු අය ගොඩක් ඇති. කෙසේ නමුත් මට පුළුවන් දේ මම උපරිමයෙන් කරනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය එදින බංග්ලාදේශයට එරෙහිවද දෙවැනි තරගය ලබන 17 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතය. සුපිරි හතර දෙනාගේ වටය 21දා ආරම්භ වන අතර, අවසන් මහා තරගය එළඹෙන 28දා ඩුබාහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත
සංජීව ධර්මසේන/ඡායාරූප - ශමීර රාජපක්ෂ