සිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට මුහුණදීමට ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමත්විය. ඒ් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවති තරගයේදීය.
මෙම තරගය ගෝල 2-1 ක් ලෙස තියුණු ජයක් හිමිකර ගත් ආර්ජන්ටිනාව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගාවලියේ දෙවැනි වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ලෙස මෙය අහ්මඩ් බින් අලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ 35 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ලයනල් මෙසී ගෝලයක් වාර්තා කරමින් කන්ඩායම ඉදිරියට ගෙනයාමට සමත්විය.
මෙය මෙසීගේ පාපන්දු දිවියේ 789 වැනි ගෝලය ලෙසින් වාර්තා අතරට ඒක්විය. අනතුරුව දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ අනෙක් ඉදිරිපෙළ ක්‍රීඩක ජුලියන් අල්වාරේස් දෙවැනි ගෝලයද කණ්ඩායමට වාර්තා කර දුන්නේය.
තරගයේ 77 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනා මැදපෙළ ක්‍රීඩක එන්සො ෆර්නැන්ඩේස් අතින් වැරදීමකින් සිය දැල තුලට ගෝලය යොමුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ගෝලයක් හිමිවිය.
නමුත් තම ගෝල සංඛ්‍යාව අබිබවීමට ඉඩක් ලබා නොදුන් ආර්ජන්ටිනාව තවත් ගෝලයක් වාර්තා කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ විය.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සිව්වැනි සාර්ථකම කණ්ඩායම ලෙසින් හැඳින්වෙන ආර්ජන්ටිනාව ලෝක කුසලානයේ අර්ධ අවසන්පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ 2014 තරගාවලියේ අනුශූරයින් වීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.
වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාව මේ අනුව එළඹෙන සිකුරාදා (09දා) තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරිමට නියමිතය.