සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමඟ අද (16දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ඉවත් කිරීමට එංගලන්තය තීරණය කර ඇත.
'කෝවිඩ්-19' වයිරසය හේතුවෙන් දැඩි සෞඛ්‍යරක්ෂිත නීති මාලවක් යටතේ මෙම තරගාවලිය පැවැත්වූවද, එම නීති උල්ලංගණය කිරීම හේතුවෙන් මෙලෙස ආචර් කණ්ඩායමෙන් ඉවත්කර ඇත.
පළමු ටෙස්ට් තරගය පැවති සවුත්හැම්ප්ටන් සිට දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන මැන්චෙස්ටර් දක්වා එංගලන්ත ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික මෝටර් රථවලින් ගමන් කිරීමට අවසර ලැබී ඇත. කෙසේ වෙතත් සැතපුම් 230ක දුරක් ඇති එම ගමනේදී අතරමග ස්ථානයන්හි නැවතී කිසිදු විවේකයක් නොගත යුතු බවට එංගලන්ත ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දී ඇත. දිවා ආහාරය මෙන්ම වාහන සඳහා ඉන්දන පවා ලබාගත යුතුව ඇත්තේද අනුමතකර තිබූ ආරක්ෂිත ස්ථානයන්හිය.
එසේ තිබියදී ආචර් ඔහුගේ මහල් නිවාසයට ගොස් ඇති හෙයින් මෙලෙස ඔහුට දඩුවමට යටත්කර ඇත. කෙසේ වෙවත් පසුගිය සඳුදා මෙය සිදුව ඇති අතර, එය මාධ්‍යයට අනාවරණය නොකිරමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබුණි. ඒ අනුව අද (16දා) තරගයට ක්‍රීඩාකරන එංගලන්ත ක්‍රීඩකයන්ගේ සංචිතයේ ආචර්ගෙ නම නොතිබිමත් සමග මෙය හෙළිවිය.
ආචර් මේ වනවිට දින පහක කාලයක් ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි එංගලන්ත කණ්ඩායම නැවතී සිටින හෝටලයේ හුදකලාව සිටිය යුතු බවට දඩුවම් ලැබී ඇති අතර, 'කොවිඩ් -19' පරීක්ෂණ දෙකකට ඔහු පෙනී සිටිය යුතු ඇත.
තමන් අතින් සිදුවූ අත්වැද්දට කණගාටුවන ආචර් පවසන්නේ, තමන් කළ දේ ගැන අතිශයින් කණගාටු වෙන බවයි.
"මම පමණක් නොව සමස්ත කණ්ඩායම හා කළමනාකාරිත්වයම අනතුරේ හෙලුවා. මට ලැබුණු දඩුවම මම සම්පූර්ණයෙන්ම පිළිගන්වා. ටෙස්ට් තරගයට ක්‍රීඩාකිරීමට නොහැකිවීම ගැන මට ලොකු වේදනාවක් තියෙනවා. කණ්ඩායම් දෙකම නොසලකා හැරීමක් වගේ හැගීමක් මට තිබෙන්නේ. නැවතත් කියන්නේ මට කණගාටුයි” ආචර් පවසා ඇත.
ආචර්ගේ දඩුවම පිළිබඳව එංගලන්තය විසින් කොදෙව් ක්‍රිකට් බලධාරින්ද දැනුවත් කර ඇති අතර, ආචර්ට එරෙහිව ගත් විනය පියවර ගැන ඔවුන් සෑහීමට පත්වන බව දන්වා ඇත.