ශ්රී ලංකා ගුවන් හමුදාව , ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා රියදුරන්ගේ සංගමය (SLADA) සමගින් එක්ව සංවිධානය කරන ලද 'රොදර්හැම්' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී නිමාවට පත්විය. පසුගියදා (24දා) පැවති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙසින් අශාන් සිල්වා සම්මාන දිනා ගත් අතර ශොයෙල් ඩැනියෙල් දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනා ගත්තේය. තරගාවලිය මෝටර් රථ ධාවන ඉසව් 11 ක් හා යතුරුපැදි ධාවන ඉසව් 6 කින් සමන්විත විය. එහිදී තරගාවලයේ මෝටර් රථ ධාවන ඉසව්වේ ශූරතාව සඳහා වැදගත් වන එස්.එල්.ජී.ටී කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට අශාන් සිල්වා සමත්විය. එහි දෙවැනි ස්ථානය මිස්සක නවීන් විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය හිමිවුයේ අරවින්ද ප්රේමදාසටයි. එහි යතුරුපැදි ධාවන ඉසව්වේ ශූරතාව සඳහා වැදගත් වූ ජී.පී. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි.ධා. 250 සිට 1000 දක්වා යතුරුපැදි) ධාවන ඉසව්වේ ශූරතාව ශොයෙල් ඩැනියෙල් විසින් හිමිකර ගත්තේය. එහි දෙවැනි ස්ථානය රීසා ඔඩෙයාර් ටත් තෙවැනි ස්ථානය නෙඩ් ඩැනියෙල්ටත් හිමිවිය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය