2018 සහ 2022 යන වසරවලදී පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය ලබාගැනීමට අල්ලස් ලබාදුන්නා යැයි එල්ල වන චෝදනා රුසියාව සහ කටාරය ප්‍රතික්ෂේප කර සිටියි.
ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතීඥවරුන් විසින් ගෙන එනු ලැබූ අධිචෝදනා පත්‍රයට පිළිතුරු ලබාදෙමිනි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) දූෂණ වංචා පිළිබඳව සොයා බැලීම සඳහා දීර්ඝ කාලයක් පුරාවට සිදුකර ගෙන යනු ලබන පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ගෙන එනු ලැබූ අදාළ අධිචෝදනා පත්‍රයට අනුව පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙක් හටම ඔවුන්ගේ ඡන්දය සඳහා අල්ලස් ලබා දී ඇති අතර ඔවුන් ඒවා ලබා ගැනීමට ද කටයුතු කර ඇතැයි මෙලෙස ඇමෙරිකාව රුසියාවට සහ කටාරයට චෝදනා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් කටාරයේ පාපන්දු බලධාරීන් පවසා තිබුණේ මෙම චෝදනා පදනම් විරහිත චෝදනා බවත් එකහෙළාම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය. මේ අතර රුසියාව පවසනුයේ තමන් 2018 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබාගත්තේ නිසි ක්‍රමවේද ඔස්සේ බවත් නීති රාමුවෙන් පිට කිසිදු ආකාරයේ වංචාවක් එහිදී සිදු නොවුණු බවත්ය.