ෆින්ලන්තයේ ටැම්පර් නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ අද (11දා) පැවැති බාලක මීටර 400 ඉසව්වෙන් හා කාන්තා මීටර 100 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අර්ණ දර්ශන හා අමාෂා ද සිල්වා සමත් වූහ.
මෙහිදී මීටර 400 තරගය සහභාගි වූ අරුණ දර්ශන එහි පළමුවැනියා ලෙස තරගය අවසන් කළේ කැපී පෙනෙන දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. අරුණ වාර්තා කළ කාලය අවසන් පූර්ව වටයට සිදුසුකම් ලබාගත් ක්‍රීඩකයන් 24 දෙනා අතරින් 06 වැනි ස්ථානය වෙයි. ඒ අනුව ඔහු හෙට (12දා) අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.
තරගය අවසන් කිරීම සඳහා අරුණ තත්. 46.81ක කාලයක් වාර්තා කළේය. කෙසේ නමුත් අරුණ වාර්තා කළ කාලය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය නොවේ. මේ වන විට ආසියාවේ සිටින මීටර 400 ඉසව්වේ වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩකයා වන ඔහු පසුගිය ජූනි මස ජපානයේ පැවැති ආසියනු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම දිනාගත්තේ තරගය තත්. 45.79කින් අවසන් කරමිනි. මෙම කාලය 1999 වසරේදී කටාර් ක්‍රීඩකයෙකු එම ඉසව්වෙන් පිහිටුවා තිබූ ආසියානු කනිෂ්ඨ තරග වාර්තාවද බිඳහෙළීමක්ද වේ.
අද පැවැති මීටර 100 කාන්තා මූලික තරගයට සහභාගි වූ අමාෂා ද සිල්වා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තත්. 11.75කින් තරගය අවසන් කරමිනි. මූලික වටයේදී ඇයට 05 වැනි ස්ථානය හිමිවුවත්, ඇය වාර්තාකළ කාලය අනුව ඊළඟ වටයට සුදුසුකම් ලබාගැනීමට ඇයට අවස්ථාව උදාවිය.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 24 දෙනෙකු අතරින් අමාෂා 19 වැනි ස්ථානයේ රැඳී සිටියි. මෙම ඉසව්වේද අවසන් පූර්ව වටයේ තරග හෙට පැවැත්වෙයි.
දකුණු ආසියාවේ සිටින වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව මෙන්ම ආසියාවේ දැනට සිටින දෙවැනි වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව අමාෂා වෙයි. මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන අමාෂා, ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ඉසව්ව තත්. 11.71කින් අවසන් කර රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.
ඊයේ ආරම්භ වූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව ඉහළ විශ්වාසයක් තබා සිටි කාන්තා මීටර 3000 බාධක දිවීම ඉසව්වට සහභාගි වූ පාරමී වසන්ති මාරිස්ටෙලාට මූලික වටයේ 05 වැනියා ලෙසත්, මීටර 800 කාන්තා ඉසව්වට සහභාගි වූ දිල්ෂි කුමාරසිංහටද එහි අවසන් ස්ථානයට පත්වීමත් නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.