ලබන වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අබුඩාබි පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අබුඩාබි පන්දු වාර 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම (draft) හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම පෙරේදා (23දා) සිදු කෙරුණි.
නොදර්න් වොරියර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සිය කණ්ඩායම සඳහා යළි තෝරා ගැනීමට පියවර ගෙන තිබූ, අතර තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගනු ලැබුවේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසිනි.
ක්‍රිකට් ලෝලීන් මවිතයට පත් කරමින් මේ වනවිට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී සිටින හිටපු දඟපන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් හා චාමර කපුගෙදර පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන ළහිරු කුමාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන ඇත.
දසුන් ශානකව දිල්ලි බුල්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබූ අතර, නොදර්න් වොරියර්ස් කණ්ඩායම විසින් මහේෂ් තීක්ෂණ සිය කණ්ඩායමට එක්කරගෙන තිබේ.
මීට අමතරව ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (Icon player) ලෙසද, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (Icon Player) ලෙස ශ්‍රී ලංකාවේ තිසර පෙරේරාද නම් කර තිබේ.
මෙවර තරගාවලියේදී කර්ණාටක ටස්කර්ස් කණ්ඩායම වෙනුවට අලුත් කණ්ඩායමක් ලෙස පූනේ ඩෙවිල්ස් කණ්ඩායම එක්ව සිටී.
තරගාවලියට සමස්ත තරග 29ක් ඇතුළත් අතර, සියලු තරග අබුඩාබි ෂෙයික් සයීඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
තිසර පෙරේරා (පූනේ ඩෙවිල්ස් Icon player), ඉසුරු උදාන (බංග්ලා ටයිගර්ස් Icon player), වනිදු හසරංග (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), අජන්ත මෙන්ඩිස් (පූනේ ඩෙවිල්ස්), ළහිරු කුමාර (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), චාමර කපුගෙදර (පූනේ ඩෙවිල්ස්), දසුන් ශානක (දිල්ලි බුල්ස්), මහේෂ් තීක්ෂණ (නොදර්න් වොරියර්ස්), අවිශ්ක ප්‍රනාන්දු (අබුඩාබි කණ්ඩායම), භානුක රාජපක්ෂ (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), දුෂ්මන්ත චමීර (දිල්ලි බුල්ස්), නුවන් ප්‍රදීප් (නොදර්න් වොරියර්ස්)