ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (28දා) දැනුම් දුන්නේය.
මෙම නඩුව ඉදිරි දින කැදවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා අභිනව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුමැතිය දෙමින් අධිකරණය එලෙස නියම කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගෙනු කළ පෙත්සම සලකා බැලු අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරුන් වන සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලිණී.
පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙහි පළමු වගඋත්තරකරු වශයෙන් නම් කර ඇති ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන හෙයින් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණයේ ඇති හෙයින් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කීය.
ඒ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
නඩුව ඉදිරි දින අධිකරණයේ කැදවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මීට පෙර දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන්නේ යැයි කීය.
අර්ජුන රණතුංග මහතා ප්රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට මතු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලමෙන් අනතතුරුව අදාළ නියෙයා්ග නිකුත් කළ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන මස 05 වැනිදා යළි කැඳවවීමට නියම කළේය.