ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට (Anti-Corruption Unit) ප්‍රකාශයක් ලබාදීම සඳහා තමා කැඳවූයේ යැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත්, තමන් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ‘අද’ට පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීමට කැඳවීම පිළිබඳ අප කළ විමසීමේදීය.
“මට එහෙම කැඳවීමක් ලැබුණේ නැහැ. මම ලංකාවේ ඉන්නේ. මේ පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි. තවමත් මට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයෙන් එහෙම කවුරුවත් කතා කළේ නැහැ" යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර හිටපු ශ්‍රීලංකා වේගපන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් (තරගවලදී විෂමාචාර සිද්ධි සිදුවූයේ යැයි) හේතුවෙන් හිටපු තේරීම් කමිටු සභාපතිවරයාගෙන් තොරතුරු විමසීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය ඔහු කැඳවා ඇතැයි මාධ්‍ය වාර්තා පළවිය.
මේ සම්බන්ධයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ දූෂණ විරෝධී ඒකකයේ පරීක්ෂණය තමන් සඳහන් කළ තොරතුරුවලට අදාළව සිදුවන්නක් නොවන බවත්, හිටපු තේරීම් කමිටු සභාපතිවරයා ඊට සහභාගි වූයේදැයි තමන් නොදන්නා බවත්ය. එහෙත් එම පරීක්ෂණය මීට පෙර සිදු කළ විමර්ශනයක අවසන් අදියරක් බවද ඒ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා,
“මාත් දැක්කා වෙබ් අඩවිවල වාර්තා වනවා සනත්ට කැඳවීමක් ලැබිලා තියෙනවා, ඒ මම සඳහන් කළ තොරතුරුවලට අදාළ විමර්ශනයකට කියලා. ඒත් මගේ එකකට නෙමෙයි එහෙම කතා කරලා තියෙන්නේ. මට හිතෙන විදිහට මේ යන්නේ ඔවුන් කරගෙන ආපු විමර්ශනයක අවසන් අදියරක්.
මම දන්නේ නෑ සනත්ව කැඳෙව්වද කියලවත්. හැබැයි දැන් හැමෝම මේක ගැන අවධානයෙන් ඉන්නවා. ඒ නිසා කවුරුවත් පොඩි හෝ වැරැද්දක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒක හොඳ ප්‍රවණතාවක්" යැයි ප්‍රකාශ කළේය.