ඔස්ට්‍රේලියාව සමගින් හෙට (13) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සදහා විශ්ව ප්‍රනාන්දු වෙනුවට බොහෝ දුරට සුරංග ලක්මාල් ක්‍රීඩා කරනු ඇති බවත් ඒ හැරුණු කළ දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළ කණ්ඩායමෙහි වෙනසක් සිදු නොවනු ඇති බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
තෙවැනි තරගයට පෙර අද (12) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් පැවසුවේ පළමු තරග ද්විත්වයෙහි දී අසාර්ථක වූ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා කෞෂාල් මෙන්ඩිස් ට මෙම තරගයේදී අවස්ථාවක් ලබා දීමට තීරණය කොට ඇති බවයි.
'සුරංග ලක්මාල් මේ වන විට හෙට තරගය සඳහා හොද ශාරීරික යෝග්‍යතාවකින් පසුවෙනවා .ඔහු බොහෝ විට හෙට තරගයට ක්‍රීඩා කරයි. මේ පිළිබද අපි තේරීම් කමිටවත් එක්ක සාකච්ඡා කරල තිබෙන්නෙ. ඒ වගේමයි කෞෂාල් හා දිමුත් ට කණ්ඩායමේ හිමි ස්ථානය පිළිබදවත් අපි සාකච්ඡා කළා. අපි උත්සාහ කරනවා මොවුන් (කෞෂාල්, දිමුත්) දෙදෙනාට තවත් අවස්ථාවක් ලබා දීමට'
යැයි හෙතෙම පැවසීය.
මෙහිදී තරගය පැවැත්වෙන එස්.එස්.සී. තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍යතාවක් දක්වනු ඇති වුවත් මෙහි අවසන් වරට පැවති තරගාවලි ද්විත්වයේදී දඟ පන්දු යවන්නන්ට වඩාත් හිතකර තත්වයක් ඇති වූ බව මැතිව්ස් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් පැවසුවේ ආසියානු කලාපයේ ක්‍රීඩා කිරීම අසීරු වුවත් තවත් අත්දැකීමක් ලෙසින් එය සලකා බලන බවයි.
"අපිට තරග සැලැස්මක් තිබෙනවා. ආසියානු කලාපයේදී පන්දුවේ තියුණු දඟ කැවීම අනුව අපිට පන්දුවට පහර දෙන්න අසීරු වුනත් ධනාත්මකව හිතල හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්න අපි බලාපොරොත්තු වෙනවා'
හෙතෙම පැවසීය. කෙසේ වෙතත් තරගය සඳහා ක්‍රීඩා කරන සංචිතයෙහි අවසන් තීරනයක් මේ දක්වා ගෙන නොමැති බවද හෙතෙම මෙහිදී පැවසීය.
තරගාවලියේ පළමු ටෙස්ට් තරග ද්විත්වය ජය ගනිමින් තරග 2-0 ක් ලෙසින් මේ වන විට ශ්‍රී ලංකාව පෙරමුනේ රැඳී සිටියි