ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ වැඩි දායකත්වය හේතුවෙන් එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ (LV= County Championship -Division Two) ශූරතාව දිනාගැනීමට සරේ ක්‍රීඩා සමාජය පෙරේදා (25දා) සමත් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට එළඹෙන වර්ෂයේ සිට මෙම තරගාවලියේ පළමු කාණ්ඩයෙන් තරග වැදීමට අවස්ථාව උදාවිය.
මෙම තරගාවලියේ පැවැති අවසන් තරගය සරේ කණ්ඩායම හා නොදැම්ප්ටන්ශෙයර් කණ්ඩායම ලන්ඩන්හි කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අතර, පසුගිය සිකුරාදා (25දා) අවසන් වූ එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ හෙයින් ලීග් ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සරේ කණ්ඩායමට හැකිවූ අතර, ඒ හේතුවෙන් 2015 වසරේ ශූරයන්වීමට ඔවුන්ට හැකිවිය.
සරේ කණ්ඩායම මෙම තරගාවලියේ තරග 16කට ක්‍රීඩාකළ අතර, ඉන් තරග 08 ක් ජයගැනීමට හැකිවිය. ඊට අමතරව එක් තරගයක් ඔවුහු පරාජය වූ අතර, තරග 07ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත්හ.
මෙම තරගාවලියේදී කුමාර් සංගක්කාර සරේ කණ්ඩායම වෙනුවෙන් තරග 11කට ක්‍රීඩාකර ලකුණු 870 ක් රැස්කිරීමට සමත්වූ අතර, එහි ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 45.78 ක් විය. මෙම ලකුණු සංඛ්‍යාව සරේ කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු දැක්වූ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. ඊට අමතරව සංගක්කාර සරේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ශතක 05 ක් රැස්කිරීමට සමත්විය.