අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අලුතෙන්ම ඉදිරිපත් කළ ටෙස්ට් ක්‍රිකට් තරග සැලැස්ම සඳහා විරෝධය දැක්වීමට ඉන්දියාවද එකග වී තිබෙනවා. බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව නව ටෙස්ට් තරග රටාවට විරෝධය ප්‍රකාශ කළ අතර එම රටවල් දෙක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ඉන්දියාවද නව සැලැස්මට විරෝධය දක්වා තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එංගලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ සහාය ඇතිව නව සැලැස්ම පසුගිය ජුනි මාසයේදී ඉදිරිපත් කළ අතර එයට නවසීලන්තයද සහාය පළ කර තිබේ.
නව ටෙස්ට් තරග රටාව two-tier ටෙස්ට් යාන්ත්‍රණය ලෙස හඳුන්න අතර ඒ හරහා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයේ පසුවෙන රටවල් හත ප්රමුඛ කාණ්ඩයක් යටතේ තරග කරන අතර ඉන් පසුව අටවැනි හා නවවැනි ස්ථානයේ පසුවෙන කණ්ඩායම් ද්විත්වය දෙවැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර ටෙස්ට් වරම් හිමිකරගෙන නැති රටවල් සමග තරග කිරීමට ඔවුන්ට සිදුවෙයි.
ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල්වලට අමතරව අනෙකුත් රටවල් ටෙස්ට් තරග පැවැත්වීමේදී ඒ සඳහා ප්‍රේක්ෂකයන් ආකර්ශණය කර ගැනීමට අපොහොසත්වීම හරහා තරග විකාශය කරන්නන්ද ගැටලුවට පත්ව තිබිම මෙවැනි තීරණයක් ගැනීමට එක් හේතුවක් ද වෙයි.
එසේම නව සැලැස්මට අනුව ටෙස්ට් ශූරයන් තේරිම සඳහා වසර දෙකකට වතාවක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ හා දෙකේ පසුවන කණ්ඩායම් දෙක අතර තරගාවලියක් පැවැත්වීමට තිරණය කර තිබේ.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි හත්වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවත්, අටවැනි ස්ථානයේ කොදෙව් කණ්ඩායමත්, නව වැනි ස්ථානයේ බංග්ලාදේශ කණ්ඩායමත් රැඳී සිටියි. නව තරග රටාවෙන් දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවක් ඇති නොවේ.
කෙසේ වෙතත් පහළින් සිටින කණ්ඩායම් දෙකට ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් සිටින කණ්ඩායම් දෙක හා තරග කිරිමට නොහැකිවීම හේතුවෙන් ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට නොහැකි වෙනවා යනුවෙන් පවසමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය නව සැලැස්මට විරෝධය දක්වා තිබේ.