එංගලන්ත සංචාරය වැදගත් තරගාවලියක් බවත්, තමන්ගේ උපරිම හැකියාවෙන් ක්‍රීඩාකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේය. ශ්‍රී ලංකා වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ (16දා) රාත්‍රියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සභාපතිවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මහතා පවසා සිටියේ, සමාජ ජාල සඳහා තමන්ගේ වටිනා කාලය අපතේ නොයවා ක්‍රීඩාවට මුල්තැනක් ලබාදෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂාවන පරිදි හැසිරෙන ලෙසයි.
තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
"හැම තිස්සෙම කල්පනා කරන්න ඕන, තමන් අද මේ තත්ත්වයට රැගෙන ආ තමන්ගේ ගුරුවරු, දෙමාපියෝ, තමන්ගේ පාසල සියලු දේ තියෙන්නේ මේ රට තුළ. ඒ ගෞරවය ආරක්ෂා වෙන්න කටයුතු කරන්න. අපි මේ විදියට දැනුවත් කළත්, අතීතයේ ගිය කණ්ඩායම්ද අනවශ්‍ය වැඩකරලා ජීවිත කාලයම ක්‍රීඩාවෙන් සමුගන්න, අපකීර්තියට පත්වෙන්න සිදුවුණා" යැයි පවසා සිටියේය.
මෙහිදී ක්‍රීඩකයන් වෙත අවවාදාත්මක පැහැදිලිකිරීමක් කරමින් පවසා සුමතිපාල මහතා සිටියේ, අද සිටින ක්‍රීඩකයන් ගලවාගැනීමට නොහැකි ලොකුම ප්රශ්නය ජංගම දුරකථන බවයි. වත්මන් ක්‍රීඩකයන් සමාජ ජාලයන්ට වැඩි නැඹුරුවක් දක්වන බවත්, ඒවාට හුරුවී සිටීම ලොකුම විෂබීජය බවත් පවසා සිටියේය.
"ඔය ගොල්ලන්ව ගලවගන්න බැරි ලොකුම ප්රශ්නය තමයි ජංගම දුරකථන. ෆේස්බුක්, අන්තර්ජාල වැඩ, ඒවානම් හරිම ලොකු විෂබීජ. මේ වයසෙදිම ෆේස්බුක් එකවුන්ට් තිබ්බොත්, ඒවාටම ගිහින් බලබලා හිටියොත් තමන්ගේ වටින කාලය අපතේ යනවා. අපිට ඒවායින් අයින්වෙලා මේ තරගාවලිය පුරාම ඉන්න පුළුවන්නම් ගොඩක් හොඳයි".
කෙසේ නමුත් ජාතික කණ්ඩායමේ තත්ත්වයද මෙය බව සුමතිපාල මහතා හෙළදරව්කර සිටි අතර, ඒ මහතා පවසා සිටියේ, ක්‍රීඩකයෝ තරග සඳහා, පුහුණුවීම් සඳහා යන්නේද ජංගම දුරකථන අතේ තියාගෙන බවයි.
"දැන් අපේ ක්‍රීඩකයෝ මැච්වලට යන්නෙත් ජංගම දුරකථන අතේ තියාගෙන. ක්‍රීඩකයෝ බස් එකේ යන්නෙත් ඉන්ටනෙට්එක බල බලා, පුහුණුවීම්ව ඉවරවෙලා හරි මැච් එකක් ඉවරවෙලා හරි නැවත බස්එකට ගොඩවුණාම ෆෝන් එක ගන්නවා. සහෝදරත්වයක්, හිනාවක් නැහැ, සිංදුවක් කියන් නැහැ. ප්ලාස්ටික් කෑලි වගේ ළමයි ටික. ජාතික කණ්ඩායමේ තත්ත්වයත් මෙහෙමයි. මොකක්ද මේ ජීවිතය. මේ තරගාවලිය අපට ඉතාම වටිනවා. එංගලන්ත සංචාරයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ" යනුවෙන් අවසන් වශයෙන් පවසා සිටියේය.
එංගලන්ත තරග සංචාරයට සිවුදින තරග දෙකක් හා එක්දින තරග තුනක් ඇතුළත් අතර, සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු සිවුදින තරගය මේ මස 26 වැනිදා කේම්බ්‍රිජ්හිදී පැවැත්විමට නියමිතව ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමගින් එංගලන්තයේ තරග සංචාරයක් සඳහා එක්ව සිටින ගාල්ල රිච්මන්ඩ් විදුහලේ චරිත් අසලංක ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇති අතර, ඔහු ඉදිරියේදී කණ්ඩායම හා එක්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා කටයුතු කරයි.
ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක/රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), අවිශ්ක ප්‍රනාන්දු (උපනායක/ ශා. සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), සම්මු අශාන් (ආනන්ද විද්‍යාලය, කොළඹ), වනිඳු හසරංග (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), ළහිරු කුමාර (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), ජෙහාන් ඩැනියල් (ශා. ජෝසප් විද්‍යාලය, කොළඹ), දමිත සිල්වා (මලියදේව විද්‍යාලය, කුරුණෑගල), නවිඳු නිර්මාල් (ශා. ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල), අශේන් බණ්ඩාර (ශා. ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල), පැතුම් නිස්සංක (ඉසිපතන විද්‍යාලය, කොළඹ), තිසරු රශ්මික (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), මිශේන් සිල්වා (ශා. සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), ප්‍රවීන් ජයවික්‍රම (ශා. සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), ඩිලාන් ජයලත් (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), තිලාන් ප්‍රශාන් (ශා. සර්වේශස් විද්‍යාලය, මාතර)
නිලධාරීන්
නෙල්සන් මෙන්ඩිස් (මෙහෙයුම් ප්‍රධානී), රෝයි ඩයස් (ප්‍රධාන පුහුණුකරු), මහින්ද හලංගොඩ (කළමනාකරු), සරත්චන්ද්‍ර ද සිල්වා (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් නිලධාරී), රවීන්ද්‍ර පුෂ්පකුමාර (පන්දු යැවීමේ පුහුණුකරු), දර්ශන වීරසිංහ (ශාරීරික යෝග්‍යතා පුහුණුකරු), අජන්ත වත්තේගම (භෞත චිකිත්සක)
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට්