සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර එළඹෙන 11 වැනිදා ආරම්භවීමට නියමිත තරග දෙකකින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලිය අරමුණු කරමින් පාකිස්තානය 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇත.
තරුණ ක්රීඩකයන් රාශියකින් සමන්විත 20-20 සංචිතයෙන් නසීර් ජැම්සෙඩ් හා අබ්දුර් රෙහෙමාන් ඉවත්කිරීමට පාකිස්තානු ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත. සහීඩ් අෆ්රිඩී, සහීඩ් අජ්මාල් හා නායක මොහොමඩ් හෆීස් හැරුණු කොට ඉතිරි ක්රීඩකයන් බොහොමයක් තරුණ ක්රීඩකයෝ වෙති.
අබ්දුල් රසාක් හා සොයිබ් මලික්ටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර, එකදු පන්දුවාර 20-20 තරගයකට හෝ ක්රීඩා කර නොමැති ෂාර්ජිල් ඛාන්ට කණ්ඩායමේ ස්ථානය හිමිවී ඇත. අරාබි සංචාරය සඳහා පන්දුවාර 20- 20 තරග දෙකක්, එක්දින තරග 5 ක් හා ටෙස්ට් තරග 3 ක් ඇතුළත් වෙයි. තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම එළඹෙන 7 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
දෙරට අතර මේ දක්වා පන්දුවාර 20- 20 තරග 10 පවත්වා ඇති අතර එයින් ශ්රී ලංකා කණ්ඩායම තරග 4 කුත් පාකිස්තානු කණ්ඩායම තරග 6 කුත් ජයග්රහණය කරමින් පාකිස්තානු කණ්ඩායම 20- 20 තරගවලදී ඉදිරියෙන් පසුවෙයි.
පාකිස්තානු සංචිතය
මොහොමඩ් හෆීස් (නායක), අහමඩ් ෂේෂාඩ්, ෂාර්ජීල් ඛාන්, සොයිබ් මක්සූඩ්, උමාර් අමීන්, උමාර් අක්මාල්, සහීඩ් අෆ්රිඩී, සුල්ෆිකාර් බාබර්, බිලාවල් බාට්, ජුනයිඩ් ඛාන්, සොහෙල් තන්වීර්, අන්වර් අලී, සහීඩ් අජ්මාල්, හැරිස් සොහායිල්