ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ වෙනත් කිසිඳු පුද්ගලයෙකුට තමාගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය නොවුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. එසේම ඔස්ට්‍රේලියා තරගාවලියට පෙරාතුව තමාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය බව දැන්වූවානම් ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට ඉඩ තිබුණ බවද මුරලි පවසයි.
මුරලි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳව මතුව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් ප්‍රකාශ කරයි. එසේම තමාට චෝදනා කරන පුද්ගලයිනට කණ්නාඩියක් ඉදිරියට ගොස් ඔවුන් රට වෙනුවෙන් කළ දේ හා තමා රට වෙනුවෙන් කරන දේ පිළිබඳව සිතා බැලිය යුතු බවත් මුරලි පවසයි.
"මීට වසර දෙකකට පෙර නිශාන්ත රණතුංග (ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම්) මගෙන් ඇහුවා දඟ පන්දු යවන්නන් වෙනුවෙන් යමක් කරන්න කියලා. මම හා කිවුවා. ඒ කාලයේ මම ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් සමග දින 10ක් 15ක් වැඩ කළා. එතැන් පසුව ක්‍රිකට් ආයතනය මට කිසිම දෙයක් සඳහා කතා කළේ නෑ. ඔවුන් මේ තරගාවලියට පෙරාතුව මට උපදේශකයෙක් ලෙස වැඩකරන්න කිවුවානම් මම කැමත්ත ප්‍රකාශ කරන්න ඉඩ තිබ්බා. ඔවුන්ට මෙන්ම කිසි කෙනෙකුට මාව ඕන වුණේ නෑ. ඉතින් මම කොහොමද මේ රටට ද්‍රෝහියෙක් වෙන්නේ.
ඔස්ට්‍රේලියාව මගෙන් ඇහුවේ තරගාවලියටම මගෙන් පුහුණුව ලබාගන්නයි. මම කිවුවා මට එය කළ හැක්කේ දින 10ක් පමණයි කියලයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන තරගයකදී ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩා ගාරයේ රැඳී සිටින්න මට අවශ්‍ය වුණේ නෑ. එය සදාචාරාත්මකත් නෑ.
ශ්‍රී ලංකාවේ මිනිස්සු මම වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ වගේම මමත් හිතනවා ඔවුන් වෙනුවෙන් මමත් ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා. මගේ යහළුවන් සමග ගුඩ්නිස් පදනම පිහිටෙව්වා.මෙයින් අපි හැම අවුරුද්දකම පවුල් 50000කට පමණ උදව් කරනවා. අපි සුනාමියෙන් පසුව නිවාස 1000ක් ගොඩනැංවූවා. උතුරු හා නැගෙනහිර පළාත්වල විකට්ටු 30-40ක් හැදුවා. අපි හැම වසරකම සමගි සන්ධාන වීමේ තරගාවලියක් පවත්වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරනවාට වඩා දෙයක් අපි අපේ පෞද්ගලික මුදලින් කරනවා.
මට චෝදනා කරන මිනිස්සු කණ්නාඩියක් ඉදිරියට ගොස් සිතිය යුතුයි අපි මොනවද රට වෙනුවෙන් කරන්නේ හා මම මොනවද කළේ කියලා. අපේ ක්‍රීඩකයන් දක්ෂ පුහුණුකරුවන් වුණාම ක්‍රිකට් ආයතනය ඒ අයව පන්නා ගන්නවා. මම කතා කරන්නේ චන්දික හතුරුසිංහ, චමින්ද වාස්, මාවන් අතපත්තු, මාරියෝ වෙල්ලවරයාන් හා තිලාන් සමරවීර ගැන.මේ අය වෙනත් රටවල්වල වැඩකරමින් ඉන්නේ ඔවුන්ට මෙහෙ ඉන්නවට වඩා වැඩි වැටිනාකමක් පිටතදී ලැබී තිබෙනවා.
අපිට දක්ෂතා තියෙන අය ඉන්නවිට අපි කරන්නේ මොකක්ද? පිට රට සිටින හොඳ පුහුණුකරුවන් මෙහේ ගේනවා. අපි අපේ අය භාවිතර කරන්නේ නැ. ඉතින් මම ද පාවාදෙන්නා, ඔවුන්ද. ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට වඩා වැඩි ගෙවීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදේශීය පුහුණුකරුවන්ට ගෙවනවා.
මම දන්නවා 1995 දී හා 1996දී ඔස්ට්‍රේලියාවට මා සමගින් ගැටලුවක් තිබුණ විට සමස්ත ශ්‍රී ලංකාවම මට උදව් කළා. ඔස්ට්‍රේලියාව මගෙන් පුහුණුකරන්න කියලා ඇහුවාම මම හිතුවා ඔවුන් මම වැරදි දෙයක් කළේ නෑ කියලා පිළිගෙන කියලා. ඒ වගේම ඒ වෙලාවේදී මම නිවැරදි වගේම ඔවුන් වැරදියි කිලයත් හිතුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිතුවොත් මම ඔස්ට්‍රේලියානුවන්ට පුහුණු කළ නිසා මෙම තරගාවලිය ඔස්ට්‍රේලියාව දිනුවා කියලා එහෙනම් මම ලෝකයේ ඉන්න හොඳම පුහුණුකරු. එහෙනම් ශ්‍රී ලංකාව මගේ සේවය ලබාගත යුතුයි. අපිට එවිට හැම අවස්ථාවකදීම දිනන්න පුළුවන්"