ප්‍රබල එංගලන්ත කණ්ඩායම හමුවේ එංගලන්තයේදී සිය අභිමානය බිඳගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන, සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිය සුපුරුදු තත්ත්ව යටතේ අද (26දා) තරග බිමට පිවිසේ. ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ ලොව අංක 07 ස්ථානයේ රැඳී සිටින ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියක් බැවින් මෙම තරගාවලියද අපේ යොවුන් ක්‍රීඩකයන්ට අභියෝගාත්මක තරගාවලියකි. එවැනි තත්ත්වයක් යටතේ වුවද, පසුගිය තරගාවලි කිහිපයේදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරගනිමින්, අමිහිරි මතකයන්ද අමතක කරමින් පළමු තරගයේ පළමු ඉනිමේ පටන් නිවැරදි දිශාවට ගමන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් මෙම තරගාවලිය සාර්ථකව අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිය.
අදින් ඇරඹෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉදිරිපත් කරන දක්ෂතා මතය. දකුණු ආසියාවේ මඳ වේගයක් සහිතව දඟ කැවීමක් සහිත තණතිලිවලදී ඔස්ට්‍රේලියානුවන් නිරන්තරයෙන් පීඩනයට හසුවේ. විශේෂයෙන්ම වර්තමාන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උස්මාන් කවාජා සහ ඇඩම් වෝජස් හැර සෙසු පිතිකරුවන් දඟ පන්දු යවන්නන් හමුවේ අසාර්ථකය. එහෙයින් රංගන හේරත්ට සහ අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් ඩිල්රුවන් පෙරේරාට, ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පීඩනයට හසුකර ගැනීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් පළමු ඉනිමේදී රැස් කරගැනීම අත්‍යවශ්‍යය. එසේ නොවන්නට ඔස්ට්‍රේලියානුවන් පීඩනයට හසු කරගැනීම වඩාත් අසීරුවේ. එහෙත් ගැටලුවකට ඇත්තේ නවක පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් පහසුවෙන් කඩුලු ලබාදීමය.
නවක පන්දු යවන්නන්ට ජාත්‍යන්තර තරග බිමේ යම් වටිනාකමක් ලබාදීම අතීතයේ සිටම සිදුකරන බැවින් එය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි. පුහුණු තරගඔ දී ස්ටීව් ඕ කීෆ් කඩුලු 10ක් දවාගත් බැවින් අද තරගයට ස්ටීව් ඕ^ කීෆ් ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකි බැවින් ඔහුට කඩුලු ලබානොදීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය. එසේ නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු සැලසුම් අපතේ යෑම වැළැක්විය නොහැකිය. ඔස්ට්‍රේලියානුවන් දඟ පන්දු යවන්නන් හමුවේ පීඩනයට හසුවන බැවින්, රංගන හේරත් සමග ඩිල්රුවන් පෙරේරාද ක්‍රීඩා කළ යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. තවද රංගන, ඩිල්රුවන්ට අමතරව තුන්වැනි දඟ පන්දු යවන්නෙකු යොදා ගැනීමට හැකි නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් වැඩි වාසි අත්කරගත හැකිය.
ඉදිරිපෙළ ශ්‍රී ලංකා පිතිකරුවන් ගැන තේරීම් කමිටුවට මෙන්ම නායකයාටද තවමත් 100%ක විශ්වාසයක් නොමැති බැවින් ශුද්ධ පිතිකරුවන් හය දෙනෙකු සමගින් දඟ පන්දු යැවිය හැකි හොඳින් පන්දුවට පහර දෙන පිතිකරුවෙකු, දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් අද තරගයට අවතීර්ණ වීමට වැඩි අවස්ථාවක් පවතියි. නායක ඇන්ජලෝ සිය ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවවී සිටින්නේනම්, එක් වේගපන්දු යවන්නෙකු සමගින් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සලසාගත හැකිය. කෙසේ වෙතත් වැඩි නැඹුරුවක් ඇත්තේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට බව පෙනෙන්නට තිබේ.
තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට නම් කළ සංචිතයේ ළහිරු තිරිමාන්න නොමැති බැවින්, ඔහුගේ ස්ථානය ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා අතරින් කෙනෙකුට හිමිවන බවක් පෙනෙන්නට තිබේ. ධනංජය ද සිල්වා එංගලන්ත ඒ කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙන්ම තුන්වැනි දඟ පන්දු යවන්නා ලෙසින්ද යොදාගත හැකි බැවින් අද තරගයේදී ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට ඇති අවස්ථාව ඉහළය. කෙසේ වෙතත් ධනංජයගේ භූමිකාව ගැන තේරීම් කමිටුවට මෙන්ම නායක ඇන්ජලෝටද සැලැස්මක් තිබීම වැදගත්ය. මන්ද ධනංජය දඟ පන්දු යැවිය හැකි හොඳින් පන්දුවට පහරදෙන පිතිකරුවෙකු බැවින්, ඔහුගේ පිතිකරණ හැකියාවට වැඩි බරක් ලබානොදී පන්දු යැවීමට වැඩි බරක් ලබාදුනහොත් දක්ෂ පිතිකරුවෙකු අහිමිවීමේ වටපිටාවක් නිර්මාණය විය හැකි බැවිනි. ඒ බැවින් සම්බන්ධතා බිඳ දැමීම සඳහා පමණක් වැඩි වශයෙන් ධනංජය භාවිත කිරීම නුවණට හුරුය. මිලින්ද සිරිවර්ධන කණ්ඩායමේ නොසිටීමේ පාඩුව දැනෙන්නේ මෙවැනි අවස්ථාවලදීය. එබැවින් එවැනි අවස්ථාවක් හිමිවුවහොත් ඉන් ප්‍රතිඵල අත්කර ගැනීම ධනංජයගේ වගකීමකි.
ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සංවිධානාත්මක කණ්ඩායමකි. මුරලි සහ තිලාන් මෙම තරගාවලියට පමණක් සම්බන්ධ කරගැනීමෙන් එය තව තවත් සනාථ වේ. ලොව අංක හත කණ්ඩායමට මුහුණ දුන්නද ඔවුන් පැමිණෙන්නේ හැකි උපරිමෙන් සන්නද්ධවය. එහෙත් මඳ වේගයක් සහිතව තියුණු දඟ කැවීමක් ඇති ආසියානු තණතිලිවලදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් බොහෝ විට අසාර්ථකය. එය ලොව අංක එකේ කණ්ඩායම වුවද ඔස්ට්‍රේලියානුවන්ට පීඩනයකි. ඉන් උපරිම ප්‍රයෝජනයක් ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය. තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වේ.