පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට තවත් දින කිහිපයක් ඉතිරිව තිබියදී සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර බාබඩොස්හිදී ඊයේ (11දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ අනුව වත්මන් ලෝක ශූර කොදෙව් කණ්ඩායම හමුවේ තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-0 ලෙස පරාජය වීමට එංගලන්ත කණ්ඩායමට සිදුවිය.
ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම තරගයේ 18.5 වැනි පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ නායක ඩැරන් සැමී පන්දු 9කදී නොදැවී ලකුණු 30ක්රැස්කිරීමට සමත්විය. හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් ඔහුගේ ඉනිම අලංකාර විය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 152/7 රැස්කිරීමට සමත්විය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ ක්රිෂ්මර් සැන්ටෝකී 21/4 ලෙස කඩුලු දවාලූ අතර, ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.