පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල විනාශ වූ හා අවපැහැ ගැන්වුණු ආසනවලට වෙනත් ආසන සවි කිරීමේ ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ සමාගමට ලබා නොදී, වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.මෙහිදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගම, අවම ලංසුව ඉදිරිපත් කළ සමාගමට වඩා සුවිශාල මුදලක් ඒ සඳහා ඉල්ලුම් කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම අවම ලංසුව ඉදිරිපත් කළ සමාගම අදාළ සාම්පල් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගමට අදාළ ටෙන්ඩරය ලබාදීමට පියවර ගෙන තිබේ.
වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගම ජර්මනියේ බලපත්‍රය සහිත මැලේසියාවේ නිෂ්පාදන කටයුතු සිදුකරන සමාගමක් වන අතර, ටෙන්ඩරය ඔවුන්ට ලබාදීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද නිලධාරියෙකු පැමිණ විමර්ශනයක් සිදුකර තිබේ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පැමිණි එම නිලධාරියාගෙන් 'අද' කළ විමසීමකදී කරන ලද විමර්ශනය පිළිබඳව මාධ්‍යයට කරුණු පැවසිය නොහැකි බව ඔහු පැවසීය.
ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පුටු 4000ක්ද, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පුටු 2000ක්ද අලුතින් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ ටෙන්ඩරය වැඩි මුදලට ඉල්ලුම් කළ සමාගමට ලබාදුන්නේ ඔවුන්ගේ භාණ්ඩ තත්ත්වයෙන් උසස් නිසා බවයි.
මීට පෙර මෙම සමාගම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නිර්මාණය කිරීමේදීද ඊට අවශ්‍ය ආසන සියල්ල ලබාදීමට කටයුතු කර තිබේ. ක්‍රිකට් ආයතන ලේකම්වරයා පවසා සිටිනුයේ වසර 14ක් දඹුල්ල ක්‍රීඩාංගණයේ කිසිදු පුටුවකට හානියක් සිදුව නොතිබූ හෙයින් වැඩි ලංසුවක් ඉදිරිපත් කළ එම සමාගමට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කළ බවයි.
නමුත් මෙහිදී තවත් පාර්ශ්වයක් චෝදනා කරන්නේ අදාළ ටෙන්ඩරය වැඩිම ලංසුවක් ඉදිරිපත් කළ සමාගමට ලබාදුන්නේ අවම ලංසුවක් ඉදිරිපත් කළ සමාගම සාම්පල් ලබාදීම පරක්කු කිරීම නිසා බවයි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවම ලංසුව ඉදිරිපත් කළ සමාගමේ සාම්පල් පරීක්ෂාවක් සිදු නොකර, මෙම තීරණයට එළඹීම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන්ද බරපතළ ගැටලුවක් නිර්මාණය කරයි.
ක්‍රිකට් ආයතන බලධාරීන් මෙවැනි ගනුදෙනු විනිවිදභාවයකින් අදාළ ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුකළා යැයි පැවසුවද, එය අපට අවබෝධ කරගත හැකි වනුයේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පැමිණ විමර්ශනයක් සිදුකළ නිලධාරියාගේ වාර්තාව අනුවය. එහෙත් නිලධාරීන් තම රාජකාරිය මෙවැනි ගනුදෙනු සම්බන්ධයෙන් අකුරට ඉටුකළා යැයි කාට නම් පවසනු හැකිද?
වැඩි ලංසුවකට ටෙන්ඩරය ලබාදුන්නේ ඔවුන්ගේ භාණ්ඩ තත්ත්වයෙන් උසස් නිසයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා
"සාමාන්‍ය‘යෙන් සංචාරයකට පෙර අදාළ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අලුත්වැඩියා කිරීම ක්‍රිකට් ආයතනයෙන් සිදු කරනවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු තරගාවලියට පෙර අපි මෙවරත් එම කටයුත්ත සිදු කරනවා. එහිදී අදාළ ක්‍රීඩාංගණවල කළමනාකරුවන් අපට දැනුම්දුන්නා, ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල ආසන නැවත සකස් කළ යුතුයි කියා.
ඒ අනුව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ආසන 4,000ක් හා ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ආසන 2,000 ක් ලෙස සියලුම ආසන 6,000ක් ඉල්ලුම් කර තිබෙනවා.
දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකළේ 2002 වසරේදී. නමුත් 2011 ලෝක කුසලානයට ඉදිකළ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ආසන නැවත සකස් කරන්න වෙලා. ඒ වගේමයි ලෝක කුසලානය වෙනුවෙන් අලුත්වැඩියා කළ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තත්ත්වයත්. නමුත් දඹුල්ල ක්‍රීඩාංගණයේ පුටු මේ වනතෙක් ඉතා හොඳ තත්ත්වයක පවතිනවා. ඒ නිසාමයි අපි දඹුල්ලේ ආසන සවිකළ සමාගමට එම ටෙන්ඩරය ලබා දුන්නේ.
අවම ලංසුවට ටෙන්ඩරය ලබානොදුන් කතාව සත්‍යයක්. අවම ලංසුව ඉදිරිපත් කළ අය සාම්පල් ලබාදෙන්න පරක්කු වුණා. ඒ වගේම ඔවුන්ගේ භාණ්ඩවල තත්ත්වයත් බාලයි.දඹුල්ලේ පුටු සවිකළ සමාගමේ මිල ගණන් වැඩියි. එහෙත් ඔවුන්ට අපි අදාළ ටෙන්ඩරය ලබාදුන්නේ ඔවුන් අපට මීට පෙර ඔප්පු කර තිබෙනවා ඔවුන්ගේ බඩු තත්ත්වයෙන් උසස් බව. ඒ අනුව අපි දැනට පුටු 6,000ක් ඉල්ලුම් කර තිබෙනවා. ටෙන්ඩර් කටයුත්තකදී හැමවිටම අඩු මුදල ලබාදෙන සමාගමටම ටෙන්ඩරය ලබාදෙන්නේ නැහැ. අපි තත්ත්වය පිළිබඳවත් සලකා බලනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පැමිණ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළා. ඔහුගේ වාර්තාව නිකුත් වූ පසුව අපේ නිරවද්‍යතාව අපට තහවුරු කරගත හැකියි. අපි වැරැද්දක් කර තිබෙනවා කිව්වොත් අපට එය පිළිගන්න වෙනවා."