ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්ගත සේවකයන් 70 දෙනෙකු එළඹෙන 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සේවයේ ස්ථිර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව ඊයේ (05දා) ගත් ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ එහි කොන්ත්‍රාත් පදනමින් සේවය කළ කාර්යාල සේවකයන් හා පරිපාලන නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත ස්ථිර කළ බවයි.
කෙසේ වෙතත් 'අද' මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ක්‍රිකට් ආයතනයේ සේවකයන් ස්ථිර කිරීමට තමන් ඉල්ලීමක් නොකළ බවත්, සේවකයන් ස්ථිර කිරීම පිළිබඳව වාර්තාවක් ඉල්ලූ බවත්ය.
එසේම ක්‍රිකට් අතුරු කමිටුව කළ කාර්යය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් හෙයින් එය නැවැත්වීමට කටයුතු කළ බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසීය. එසේම සේවකයන් ස්ථිර කිරීමට අතුරු කමිටුවට බලයක් නොමැති අතර, ක්‍රිකට් ආයතනයේ සේවකයන්ගේ සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න ඇති බවද ඔහු සඳහන් කළේය.
“ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ක්‍රිකට් ආයතනයේ දූෂණ සෙවීමට පත්කළ කමිටු වාර්තාවෙන් දුන් නිර්දේශ පිළිබඳව ක්‍රිකට් අතුරු කමිටුවත් සමග සාකච්ඡාවක් තිබ්බා. එහි සේවකයන් ස්ථිර කිරීම ගැනත් සඳහන් වෙලා තියෙනවා. මම කිව්වා ඒ සම්බන්ධයෙන් ගන්න ඕන පියවර පිළිබඳව අපට වාර්තාවක් දෙන්න කියලා.
මේ අය සේවකයන් 70 ක් ස්ථිර කළා. ඒක කරලා දැම්මෙ මගේ නම. මම ඒක වහාම නතර කරන්න කිව්වා. අනෙක් එක අතුරු පාලක කමිටුවට මේක කරන්න බලයක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සේවකයන්ගේ සුදුසුකම් ගැන ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසාම තමයි මම කිව්වේ ස්ථිර කරන සේවකයන් කවුද? ඔවුන්ගේ තනතුරු මොනවාද? ඔවුන්ගේ සුදුසුකම් මොනවාද? කියලා අපට වාර්තාවක් දෙන්න කියලා" යැයි අමාත්‍යවරයා පැවසීය.