සංජීව ධර්මසේන
(පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට)
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (26දා) පෙ.ව. 10.00 ආරම්භවීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 27 වැනි ටෙස්ට් තරගය මෙය වේ.
දෙරටේ ටෙස්ට් තරග අතීතය 1983 දක්වා ඈතට දිවයන අතර, වසර 33ක එම කාලය තුල තරග 26ක් පවත්වා ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවී ඇත්තේ එක් තරගයක් පමණි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 17ක් ජයගෙන ඇති අතර, තරග 08ක් ජයපරාජයෙන් තොරව අවසන්වී ඇත.
අවසන් වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2011 වසරේ ශ්‍රී ලංකාවේ සිදුකළ ටෙස්ට් තරග සංචාරයද 1-0 (3) ක් ලෙස තරගාවලිය ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර, ශ්‍රී ලංකාව 2013 වසරේ ඔස්ට්‍රේලියාවේදී සිදුකළ සංචාරයද, තරග 3 -0 (3) ක් ලෙස පරාජයවීමට සිදුවිය.
දෙරටේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ජයගත් එකම තරගාවලිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම 1999 වසරේදී ශ්‍රී ලංකාවේදී සිදුකළ තරග සංචාරය වන අතර, තරග තුනකින් සමන්විත වූ එම තරගාවලිය, තරග 1-0ක් ලෙස ස්ටීව් වෝගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
අතීතයේ සිටම ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී මෙන්ම තම මවුබිමේදීද විශිෂ්ට ලෙස ක්‍රීඩාකර ඇති ඔස්ට්‍රේලියානු කණ්ඩායම වසර පහකට පසු ශ්‍රී ලංකාවේදී නැවතත් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට සිට තරග බිමට පිවිසේ. පසුගිය මාස කිහිපයේ සිටම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් සිය දක්ෂතා අතරට පැමිණීමට මෙම තරගාවලිය විශේෂයෙන් වැදගත් වේ. සියල්ල එසේ වුවත්, වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක එකේ කණ්ඩායම ඔස්ට්‍රේලියාව බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට එම අභියෝගය ජයගැනීම එතරම් ලෙහෙසි පහසු නොවනු ඇත.
කෙසේ නමුත් හෙට (26දා) ආරම්භ වන තරගය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ, නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කණ්ඩායමට ඇතුළුත් වුවද, ක්‍රීඩා කරන එකොළොස් දෙනා විස්වාස බවත්, ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමට එරෙහි අභියෝගයට මුහුණදීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවයි.
“අවාසනාවකට සුරංග ලක්මාල් හා ධනංජය ද සිල්වා අබාධයන්ට ලක්වෙලා තිබෙනවා. ඔවුන් ක්‍රීඩාකරනවාද යන්න තීරණය වන්නේ හෙට දිනයේ තමයි. නමුත් ධනංජය ද සිල්වා මම හිතනවා හෙට තරගයට ක්‍රීඩාකරන්න සුදුසු තත්ත්වයේ ඉදියි කියලා. එහෙත් සුරංග ලක්මාල් ගැන විස්වාස නැහැ” මැතිව්ස් අද පැවති මාධ්‍ය සාකච්චාවේදී පවසා සිටියේය.
මුත්තයියා මුරලිදරන්ගේ සහය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවීම පිළිබදව මැතිව්ස් සිය අදහස් පවසා සිටි අතර, ඔහුගේ අදහස වූයේ මුරලිගේ සේවය ඔස්ට්‍රේලියාවට හිමිවීම වෘත්තිය මට්ටමින් සිදුවන දෙයක් බවත්, එය කාටහෝ නැවතිය නොහැකි කාරණයක් බවයි.
“ඕනම කෙනෙකු දන්නවා ඔහු (මුරලි) ලංකාවට කරලා තිබෙන සේවය. එය අගය කරන්න ඕන. ඔහු ආසියානු කලාපයේ සෑහෙන්න කඩුලු අරන් තිබෙනවා. එමනිසා ඔහු වටිනවා කියලා හිතලා, ඔහුගේ අත්දැකීම් ඔස්ට්‍රෙලියාව ප්‍රයෝජනයට ගත්තා. මම හිතනවා ඉදිරියේදි ඔහුගේ සේවය අපේ කණ්ඩායමටත් යොදාගන්න පුළුවන් කියලා. මෙය වෘත්තීය මට්ටමේ දෙයක්, ඒ හැරෙන්න අපි කාටවත් කියන්න බැහැ මුරලි අපේ කණ්ඩායම එක්ක වැඩකළේ නැහැ, වෙන කණ්ඩායමක් එක්ක වැඩ කළා කියන එක” කියන්න.
නවක ක්‍රීඩකයන් සංචිතයට කැඳවීම, ක්‍රීඩකයන්ට ලබාදෙන අවස්ථාවන් හා අද තරගයට තිබෙන සූදානම පිළිබඳව මැතිව්ස් දක්වා සිටියේ මෙවන් අදහසක්,
“අපි හුගත් කථාබහ කළා අපිට කරන්න පුළුවන් දේ ගැන. පුහුණුවීම් කටයුතු හැම දෙයක්ම අපි පුළුවන් විදියට කරලා තිබෙනවා. දැන් කරන්න තිබෙන්නේ හොදට ක්‍රීඩාකරන එක. නවකයන් සංචිතයේ ඉන්නවා. නමුත් කරන්න දෙයක් නැහැ, අපි ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම සමග ක්‍රීඩා කරන්නේ. අපි ඒ අභියෝගය භාරගන්න ලෑස්තියි.
මම විස්වාස කරන දෙයක් තමයි, නායකයා වෙලා ඉන්නම් දක්ෂතා දක්වන අයට තමයි අවස්ථාව දෙන්නේ. නමුත් ඇතැම් වෙලාවට එක් ක්‍රීඩකයෙකු හොදයි කියලා හිතුනොත් දීර්ඝ අවස්ථාවක් දෙනවා.
ක්‍රීඩාකරන එකළොස්දෙනා ගැනම මට ලොකු විස්වාසයක් තිබෙනවා. නමුත් අවාසනාවකට අපට ඉන්න හොදම පන්දු යවන්නන් ටික ආබාධයට ලක්වෙලා. නමුත් එහෙම කියලා අපට මේ තරගය ක්‍රීඩා නොකර ඉන්න බැහැ. කෙසේ හෝ මේ තරගය අපි හොදින් ක්‍රීඩාකළ යුතුයි” මැතිව්ස් පවසා සිටියේය.