වසර පහකට පසු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර, ඔවුන් ටෙස්ට් තරග 03කට එක්දින 05කට හා විස්සයි20 තරග 02කට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් දෙරටේ නායකයන් හා පුහුණුකරුවන් සම්බන්ධ කරගනිමින් ඊයේ (13දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ, ස්ටීවන් ස්මිත් හා ඩැරන් ලීමන් ඇතුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායම උණුසුම්ව පිළිගන්නා බවත්, දේශීය තත්ත්ව යටතේ තරගාවලිය ජයගැනීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා,
"අවාසනාවකට අපේ වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකු ආබාධවලට ලක්වෙලා තියෙනවා. අවසන් වරට පැවති ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ආබාධයකට ලක්වුණා. නමුත් අපි ඊයේ (13දා) පුහුණුවීම් ආරම්භ කළා. විශිෂ්ට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කිරීමට නම්, අපි ඔවුන්ට හොඳ තරගයක් ලබාදිය යුතුයි" යැයි පවසා සිටියේය.
මෙහිදී ඩේවිඩ් වෝනර්ගේ ආබාධ තත්ත්වය හා රංගන හේරත්ට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව මාධ්‍යවේදීන් ඔස්ට්‍රේලියානු නායකයාගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු දුන් ඔස්ට්‍රේලියානු නායකයා
“ඩේවිඩ් වෝනර් මේ වනවිට ඉතා හොඳින් පුහුණුවීම්වල යෙදෙනවා. අපි විශ්වාස කරනවා ඔහු පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරාවි කියලා. ඒ වගේමයි රංගන හේරත් ඉතා හොඳ පන්දු යවන්නෙක්. ඔහු ශ්‍රී ලංකාවේදී ඉතා හොඳින් පන්දු යවනවා. නමුත් අනෙකුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිවද අපි ඉතා හොඳින් මුහුණදීමේ අදිටනින් සූදානම් වෙනවා" යැයි පවසා සිටියේය.
පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුවද්දී දැවීයාම් තරගාවලියේ පරාජයට බොහෙවින් බලපෑ අතර, ඒ පිළිබඳව අදහස් පළකළ ඇන්ජලෝ මැතිව්ස්, "පසුගිය එංගලන්ත සංචාරයේදී අපගෙන් බොහෝ දුවද්දී දැවීයාම් සිදුවුණා. පුහුණුකරු හා අපේ අනෙකුත් සහය පුහුණුකරුවන් සමග අපි ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඔස්ට්‍රේලියානු තරගාවලියේදී අපි එකදු දුවද්දී දැවීයාමක් හෝ ලබානොදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වනවා" යැයි සඳහන් කළේය.
එසේම මුරලිගේ සහාය හා තිලාන් සමරවීරගේ සහාය ඔස්ට්‍රේලියානුවන්ට හිමිවීම පිළිබඳව අදහස් පළකළ ශ්‍රී ලංකා නායකයා, "මුරලිගේ සහය හා තිලාන්ගේ සහය ඔස්ට්‍රේලියානුවන්ට හිමිවීම අපිට පාලනය කරන්න බැහැ. නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම හැකි උපරිම ආකාරයෙන් තරගාවලිය සඳහා සූදානම් වන බව අපි දන්නවා. ඒ වගේමයි අපි දන්නවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ යුතු ආකාරයත්. හැබැයි අපි එහෙම අධිතක්සේරුවකින් සිටිය යුතු නැහැ. අපි හොඳින් ක්‍රීඩා කළ යුතුයි. ඒ සඳහා හැකි උපරිම ආකාරයෙන් පුහුණුවීම් කරනවා" යැයි මැතිව්ස් වැඩිදුරටත් පවසා සිටියේය.
දුෂ්මන්ත චමීරට හා ශමින්ද එරංගට නියත වශයෙන්ම මෙම තරගාවලිය අහිමි වන බව ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය. "විශේෂයෙන්ම දුෂ්මන්ත චමීර හා ශමින්ද එරංගට තව ටික කාලයක් යාවි ඔවුන්ගේ ආබාධ සුවවීමට. ධම්මික ප්‍රසාද්ගේ තත්ත්වය නම් සියයට සියයක් ප්‍රකාශ කළ නොහැකියි. නමුත් ඔහු මේ වනවිට පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා" යැයි මැතිව්ස් ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 'වෝන් - මුරලි' තරගාවලිය ලෙස නම් කර ඇති අතර, පළමු තරගය මෙම මස 26 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ