මේ දිනවල පැවැත්වෙන ශ්රී ලංකා ක්රිකට් විස්සයි20 පළාත් ලීග් ක්රිකට් තරගාවලියේදී ප්රධාන පෙළේ ක්රිකට් ක්රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි 'අද' පුවත්පතට කරුණු වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමට මෙම ක්රීඩකයන් අද (27දා) දිනයේදී ක්රිකට් මූලස්ථානය වෙත කැඳවීමට නියමිත බව අනාවරණය වේ.
බුකිකරුවන් සහ ක්රිකට් ඔට්ටුකරුවන් සමගින් එකතු වී කටයුතු කළ ක්රීඩකයන් අතර, වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රීඩකයන් දෙදෙනෙකුද වන බවට හෙළි වේ. ඔවුහු දඹුල්ල ක්රීඩාංගණයේ ඊයේ (26දා) පැවැති තරගයේදී ක්රිකට් ඔට්ටුකරුවන් සහ බුකිකරුවන් සමග එක්ව කටයුතු කළ බවට චෝදනා ලබා සිටිති. ඊයේ සිදුව ඇති මෙම සිද්ධියෙන් අනතුරුව ක්රිකට් ඔට්ටුකරුවන් සහ බුකිකරුවන් දඹුල්ල ක්රීඩාංගණයෙන් ඉවත් කර ඇති බවටද වාර්තා වේ.
ඊයේ (26දා) සහ පෙරේදා (25දා) දිනයේදී දඹුල්ල ක්රීඩාංගණයට 50කට වැඩි ඉන්දීය හා පාකිස්තානු ජාතිකයන් තරග නැරඹීම සඳහා පැමිණ ඇති අතර, මේ වනවිට දඹුල්ල ක්රීඩාංගණයේ ආරක්ෂක අංශ ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දඹුල්ල ක්රීඩාංගණ භාරකරු සුජීව ගොඩලියද්ද මහතා පවසා සිටියේ අදාළ දින දෙක පුරාම ඉන්දීය හා පාකිස්තානු ජාතිකයන් වැඩි පිරිසක් තරග නැරඹීමට පැමිණි බවයි. කෙසේ නමුත් තරග පාවාදීමක් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා වී නොමැති බව ඔහු කීය. එහෙත් ක්රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලීග් ක්රිකට් තරගාවලියේ අධ්යක්ෂ සජිත් ප්රනාන්දු මහතා සහ දඹුල්ල පොලීසිය නිසි පියවර ගනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.