ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී අයේෂ් වීරක්කොඩි මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි 'අද'ට වාර්තා වේ. ඒ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් කෙරෙන පරීක්ෂණවලට බලපෑම් කළා යැයි චෝදනා කරමිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර සිටින අතර, හෙතෙම පවසා සිටිනුයේ, තමාට එරෙහිව පරීක්ෂණ කෙරෙන කතාව ක්‍රිකට් ප්‍රධාන විධායක ගොතන ලද අසත්‍යයක් බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා,
"මට එරෙහිව කිසිම පරීක්ෂණයක් නැහැ. ඔය කතා සියල්ල බොරු. නුවන් සොයිසාගේ සිද්ධිය ආපු වෙලාවේ ඔහුව 'සැක්' කරනවා කියලා ඒකේ කොපියක් මටත් එවලා තිබුණා. එවෙලේ නුවන් සොයිසා මට කතා කරලා කිව්වා ඔයාට විතරයි ඒක කොපි කරලා තියෙන්නේ ලැබුණද කියලා. අයිසීසී එකෙන් අපේ දුරකථන ට්‍රැප් කරලා තියෙන්නේ.
එතකොටම අයිසීසී දූෂණ මර්දන ඒකකයේ ඇලෙක්ස් මාෂල් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ඇයි නුවන්ට කතා කළේ කියලා. මම කිව්වා මම නෙමෙයි නුවන් තමයි මට කතා කළේ කියලා. පසුව ඒ මැසේජ් එක මම ප්‍රධාන විධායක ඈෂ්ලිට යැව්වා. ඉතින් ඇලෙක්ස් මාෂල් මට කිව්වා නුවන් එක්ක කතා කරන්න යන්න එපා කියලා. වුණේ එච්චරයි.
අනිත් කරුණ මම ශ්‍රී ලංකා ක්‍රිකට්වල දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා නම් මට ක්‍රීඩකයන් සමග කතා කරන්න බැරිද? අනික කොහෙද කවුරුද මට කියලා තියෙන්නේ ක්‍රීඩකයන් සමග කතා කරන්න එපා කියලා. මම ක්‍රීඩකයන්ට කිව්වා නම් කතා කරන්න එපා කියලා නැත්නම් අයිසීසී පරීක්ෂණවලට සහාය දෙන්න එපා කියලා එහෙනම් මම වැරදියි.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යතුමාත් මට කතා කරලා කිව්වා මගේ සේවය අවසන් කිරීමේ නියෝගය ඉවත් කරනවා කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට විශ්වාසයක් නැහැ. ඔවුන් අපිට කියන්නෙත් නැහැ පරීක්ෂණ සම්බන්ධයෙන්. දැන් මේ ක්‍රිකට් දූෂණ සම්බන්ධ සිද්ධි එකක්වත් මගේ කාලයේ වුණු දේවල් නෙමෙයි.
ඒ ඔක්කොම 2016 සහ 2017 වසරවල වුණු දේවල්. මම වැඩ භාරගත්තේ 2018 වසරේ. මගේ කාලයේ වුණේ ක්‍රිකට් මූල්‍ය වංචාවයි, ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියයි. ඒ සිද්ධි දෙකම අපරාධ සිද්ධි. අනිත් කරුණ මට ඔය ඔක්කොම තර්ජන එන්න පටන් ගත්තේ මගේ සහ තොරතුරු තාක්ෂණ කළමනාකරුගේ විමර්ශන පදනම් කරගෙන තමයි මූල්‍ය වංචාවේ කරුණු අනාවරණය කරගත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්වල ලොකු ලොක්කන් ඒ මූල්‍ය වංචාවට හවුල්. මගේ ගාව තියෙනවා ඒකට සාක්ෂි. නිලධාරියෙක්ගේ සේවය අවසන් කරනවා නම් ඔහුට දෙන්න ඕන ඒකට සාධාරණ හේතු, එහෙම හේතුවක් නොමැතිව පරීක්ෂණයක් නොකර මගේ සේවය අවසන් කළා කියලා ලිපියක් එවලා තියෙනවා" යැයි පවසා සිටියේය.
අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ, තමන් ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවත් නියමිත කාලය තුළ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන බවයි.