එම්.සී.සී. සභාපති ලෙස පත්වූ කුමාර් සංගක්කාර මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට එම ක්‍රිකට් පාලනාධිකාරිය කටයුුතු කර තිබේ.
2019 ඔක්තෝබර් 1 වන දින වසරක කාලයක් සඳහා සිය ධුර කාලය ආරම්භ කළ සංගක්කාර ඒ අනුව 2021 සැප්තැම්බර් 30 දා දක්වා එහි සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතය.
මේ සඳහා වන ආරාධනය එම්.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් සිදුකර තිබේ. මේ සඳහා වන අනුමැතිය ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ජුනි 24 දා ගැනීමට නියමිතව තිබේ.
ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ භාරකාරත්වය දරණ මෙන්ම නව ක්‍රිකට් නීති හඳුන්වාදෙන එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ධුරට බ්‍රිතාන්‍ය නොවන ජාතිකයෙක් පත්වූ පළමු අවස්ථාව වූයේද ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර මහතා එහි සභාපති ධුරයට පත්වීමයි.
සාම්ප්‍රදායිකව MCC සභාපතිවරයා ඔවුන්ගේ වාර්ෂික මහා සභා රැස්වීමේදී නම් කරනු ඇත. සංගක්කාරගේ අනුප්‍රාප්තිකයාට 2021 ඔක්තෝබර් 1 වන දින එම තනතුර භාර ගැනීමට අපේක්ෂා කළ හැකිය.
එම්.සී.සී. හි සභාපතිවරු සාමාන්‍යයෙන් සේවය කරන්නේ මාස දොළහක කාලයක් සඳහා වන අතර, අසාමාන්‍ය තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා දීර්ඝ කිරීම විවිධ අවස්ථාවලදී සිදුකර තිබේ.
පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේදී හෝක් සාමිවරයා (1914-18) සහ ස්ටැන්ලි ක්‍රිස්ටෝපර්සන් (1939-45) වැඩි කාලයක් සේවය කළහ.
සංගක්කාර මේ වන විටත් එම්.සී.සී. සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති අතර 2011 දී ඔහු කළ එම්.සී.සී. කෞඩ්රි දේශනය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවිය.