ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (08දා) කඩාවැදී පුහුණුකරුවන්ගේ කළමනාකරු (Coaching Manager) ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වේ.
සිවිල්ඇඳුමින් සැරසුණු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සමග පැමිණි දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්පෙරවරු 9.00ට පුහුණුකරුවන්ගේ කළමනාකරුරැගෙන ගොස් ඇති අතර, පස්වරු 6.00 වනතුරුත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම අවසන්ව නොතිබිණි.
එමෙන්ම උදෑසන 9.00 සිට ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති අතර, පැය 09කට වැඩි කාලයක් ඔහුව රඳවාගෙන ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසා සිටි අතර, ඔහු පවසා සිටියේ, පුහුණුකරුවන්ගේ කළමනාකරුව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවත්, එහෙත් ඒ කුමනාකාරයේ ප්‍රශ්න කිරීමක් සඳහාද යන්න තමන් දැනුවත්ව නොමැති බවත්ය.
ශ්‍රී ලංකාවේ සිදුවූ ක්‍රිකට් තරග පාවාදීම් හාදූෂණ වංචා පිළිබඳ විශේෂ විමර්ශනයක් මේ දිනවල සිදු කරන අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙකු සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ගැන සැකසිතී ඔහුගේ ජංගම දුරකථනය දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇතැයිද වාර්තා වේ. ඔහුගෙන් ලද තොරතුරු මත පුහුණුකරුවන්ගේ කළමනාකරු ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි අනාවරණය වේ.
තවද ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් නවාතැන්ගෙන සිටින අලියා හෝටලයටද ගොස් සෝදිසි කිරීම් සහ ප්‍රශ්න කිරීම් අරඹා ඇතැයි හෙළිවේ.
මේ අතර, පසුගියදා (03දා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ශ්‍රීලංකාවේ සිදුව ඇතැයි සැකකරන බරපතළ ක්‍රිකට් දූෂණ, වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත්, විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.
එහි එක් අදියරක් ලෙස මෙලෙස පුහුණුකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹා තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කටයුතු සිදු කරන අතරතුර එහි පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇතැයි වාර්තා වේ. එනම් බරපතළ ක්‍රිකට් දූෂණ, වංචා හෝ තරග පාවාදීම්වලට අදාළ ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනාගෙන ඇත්නම් ඔවුන්ගේ නම් හෙළිකරන ලෙසයි. එහෙත් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිට ඇතැයි හෙළිවේ.
දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා රජයේ වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයාට ඔවුන්ගේ විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවද අනාවරණය වේ.
ක්‍රිකට් තරග පාවාදීම්, දූෂණ සහ වංචා පිළිබඳ විනිවිදභාවයක් ඇතිව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් මෙරටදීද ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැයිද වාර්තා වේ.