ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (5,564,404.50) හොංකොංහි ගිණුමකට බැර කරන්නැයි ඉල්ලමින් සිදු වීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගෙන් ඊයේ (04දා) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.ය) ප්‍රශ්න කර තිබේ.
ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු ධනංජය විජේසිංහ, තොරතුරු තාක්ෂණ කළමනාකරු නදීශාන් සූරියාරච්චි, දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානී අයේෂ් වීරක්කොඩි යන නිලධාරීන්ද මෙම ප්‍රශ්න කිරීමට කැඳවා තිබෙනු දැකගත හැකි විය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා සිටියේ ක්‍රිකට් ආයතනයේ සිදුවී යැයි පැවසෙන මූල්‍ය වංචාවට එරෙහිව තමන් කළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.
"අපෙන් ප්‍රශ්න කෙරුවේ නැහැ. අපි ආවේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නයි. මේ පළමු දවස, ඉතින් අපි ඇවිත් ඒ ප්‍රකාශය ලබාදුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපෙන් මුකුත් ඇහුවේ නැහැ. අපි ප්‍රකාශයක් දෙන්න විතරයි ආවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි ඇත්ත කතාව ඔවුන්ට කිව්වා මෙතැන වෙලා තියෙන දේ ගැන.
අපි ප්‍රකාශයක් කරන්න විතරයි ආවේ, අපිට යළි කැඳවීමක් නැහැ. අපි දීපු ප්‍රකාශය අනුව ඔවුන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරාවි. අපි සමග ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ආවේ ලැප්ටොප් සහ ජංගම දුරකථන අරගෙන" යැයි සී.අයි.ඩී.ය කළ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් කරුණු පැවසීය.
කෙසේ වෙතත් විමර්ශන කටයුතු සඳහා ඉදිරි දිනවලදී අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනෙකුත් අංශ ප්‍රධානීන්ව කැඳවීමේ සූදානමක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් 'අද'ට පැවසීය.