සංචාරක බංග්ලාදේශ එක්දින කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද (31දා) දිවා/රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ. අවසන් එක්දින තරග දෙකම ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙසින් මේ වන විටත් තරගාවලියේ ජය හිමි කරගෙන අවසන්ය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙරටදී එක්දින තරගාවලියක් ජය ගන්නේද මාස 44ක් පසුවයි.
කෙසේ වෙතත් ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගත් තරගයේදී නුවන් කුලසේකර සමග ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය ඔහුගේ සතුටට කරුණක් බව මාලිංග සඳහන් කර සිටීමත්, තේරීම් කමිටු සභාපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය නිසාත් තේරීම් කමිටු සභාපතිවරයා දැඩිව විවේචනයට ලක්වූ නමුත් පරිණත කෙනෙකු ලෙස තේරීම් කමිටු සභාපතිවරයාට එය පාලනය කර ගැනීමට තිබූණි.
එම සිදුවීමත් සමඟ ඇති වූ වාතාවරණය නිසාදෝ අවසන් එක්දින තරගය නුවන් කුලසේකර නමින් නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. එබැවින් නුවන් කුලසේකර සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව හෝ ඔහු වෙනුවෙන් තරගයක් හෝ නම් කරන්නට ඉදිරිපත් වීම පැසසිය යුතුය. එහෙත් නුවන් කුලසේකර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙවර අගයනු වස් මීට වසරකට පෙර හෝ ඔහුට සමුගැනීමට තරගයක් ලබාදෙන්නට තිබූණි.
තරගාවලිය ජයග්‍රහණය කළ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලබාදීමට සුදානමින් සිටින බව ඊයේ (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එක්දින නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේය. තරගාවලියක් ජයගත් පසු තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබාදී, ඔහු ගැන තක්සේරුවකට පැමිණීම සාධනීය කාරණාවක් වුවත් ඇන්ජලෝ මැතිව්ස් හා නුවන් ප්‍රදීප් හැරෙන්නට සෙසු ක්‍රීඩකයින් සියලුදෙනාම තවමත් සිටින්නේ විවේකයක් ලබාදීමට තරම් අවශ්‍ය දස්කම් ප්‍රදර්ශනය කළ වටපිටාවක නොවේ.
වසර කිහිපයක්ම එක දිගට පරාජයන් රැසක් අත්විඳි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම, කණ්ඩායමක් ලෙසින් තරග ජයග්‍රහණය කිරීම තවමත් නිසි ලෙස ආරම්භ කර නොමැත.එහෙයින් තරග දෙකක් හා තරගාවලියක් ජයගත් පමණින් සියල්ල නිවැරදි යැයි සිතා කටයුතු කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි. ජයග්‍රහණ ලබන්නේ නම් මෙම කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනාම වසරක් හෝ දෙකක් එක දිගට ක්‍රීඩා කළ යුතුය.
එසේම පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීද වේග පන්දු යවන්නෙකු ලෙසින් තමන් විශ්වාසය තැබිය හැකි පන්දු යවන්නෙකු වන බවට ඉඟි පළ කළ ළහිරු කුමාරට තව තවත් අවස්ථාව ලබා දිය යුතුය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ වගකීම බාරදිය හැකි පන්දු යවන්නෙකු බැවින් ඔහුට දියුණු වීමට අවස්ථාව ලබාදිය යුතුය.
එමෙන්ම ලෝක කුසලාන සංචිතයේ සිටිය යුතු වුවත් එම සංචිතයට ඇතුළත් නොවූ අකිල ධනංජය දෙවැනි තරගයේදී විශිෂ්ට ලෙස පන්දු යවමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව පැවැති කඩුලු ලබාගත හැකි දඟ පන්දු යවන්නාගේ භූමිකාවට තමන් තවමත් සුදුසුම දඟ පන්දු යවන්නා බවද පෙන්වීය. එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත අවස්ථාවකි.
ලෝක කුසලාන තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙසින් කටයුතු කිරීමට පිටත්ව ගිය අවිශ්ක ප්‍රනාන්දු ආබාධයක් නිසා ප්‍රථම තරග කිහිපයක් ක්‍රීඩා නොකළ අතර තරගාවලිය අවසන් භාගයේදී අංක තුන පිතිකරුවා ලෙසින් කණ්ඩායමට ඇතුළත් විණි. එහිදී ලකුණු අතරට පිවිසි අවිශ්ක, නැවතත් බංග්ලාදේශ තරගාවලියේදී ආරම්භක පිතිකරුවා ලෙසින් පන්දුවට පහරදීමට පැමිණියේය.
ඔහු ආරම්භක පිතිකරුවෙකු නිසා අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීම ඔහුට අපහසුවක් නැතිවා සේම, නැවත වරක් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කිරීමටද ගැටලුවක් නොමැත. එහිදී අවිශ්ක අංක තුන ස්ථානයේ ස්ථාවර වූ නිසා ඔහුට දිගටම එම ස්ථානය ලබාදීමට තිබුණද ඔහු නැවතත් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් යෝදා ගත්තේය. අවිශ්කගේ වාසනාවට ආරම්භක පිතිකරුවා ලෙසින්ද සාර්ථක වන්නට හැකි විණි.
යම් හෙයකින් ඔහු අසාර්ථක වූයේ නම්, ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු අතරට පිවිසෙමින් සාර්ථක වූ අවිශ්කගේ අසාර්ථකත්වයේ වගකීම බාරගන්නේ කවුද ? කවුරුත් නැත. පාඩුව සිදුවන්නේ වන්නේ ඔහුටය. එහෙයින් පිතිකරුවෙකු යම් ස්ථානයක සාර්ථක වූ පසු ඔහු කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙකු වනතුරු පන්දුවට පහර දෙන ස්ථාන වෙනස් කිරීම නොකළ යුතු දෙයකි.
ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, අකිල ධනංජය, අවිශ්ක ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, තිසර පෙරේරා, කසුන් රාජිත, වනිදු හසරංග
බංග්ලාදේශ සංචිතය - තමිම් ඉක්බාල් (නායක), අනාමුල් හක්, ෆර්හඩ් රේසා, මහමුදුල්ලා, මෙහිදි හසන්, මොහොමඩ් මිතුන්, මොසාදෙක් හුසේන්, මුස්ෆිකර් රහීම්, මුස්ටෆිසුර් රහමන්, රුබෙල් හුසෙන්, ශබීර් රහමන්, සෞම්‍ය සක්කාර්, තයිජුල් ස්ලාම්, තස්කින් අහමඩ්, මොහොමඩ් සයිෆුදීන්