සෑම පුහුණුකරුවෙක්ම 2022 වසර ආරම්භ වනවිට බලපත්‍රලාභී පුහුණුකරු හැඳුනුම්පතක් ලබාගෙන තිබීම අනිවාර්ය බවත්, එසේ නොමැති පුහුණුකරුවන්ට පුහුණුකිරීම් කටයුතුවල නියැළීමට අවසර නොලැබෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව 2014 වර්ෂයේ සිට සක්‍රියව මේ දක්වා ශ්‍රී ලංකාවේ වෘත්තීයමය ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සේවයේ යෙදී සිටින පුහුණුකරුවන් සියලුම දෙනා ලියාපදිංචි කර, ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ජාතික ලැයිස්තුවක් සකස් කිරීමට හා ඔවුන්ට පිළිගත් නිල හැඳුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කර ඇත.
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මූලිකව සිදුකළ විමර්ශන කටයුතුවලදී ක්‍රීඩා ක්ෂේත්රයේ හඳුනාගත් එක් වැදගත් යෝජනාවක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. මේ සඳහා අවශ්‍ය නීතිමය බලාත්මකභාවය ක්‍රීඩා පනත මගින් ලබාදීමට කටයුතු කර, කඩිනමින් ලියාපදිංචි කටයුතු ආරම්භ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලැබී ඇත.
ඒ අනුව 2022.01.01 දින සිට සෑම පුහුණුකරුවෙකුම බලපත්‍රලාභී පුහුණුකරු හැඳුනුම්පත් ලබාගෙන තිබීම අනිවාර්ය වන අතර, එසේ නොමැතිව පුහුණුකිරීම් කටයුතුවල නියැළීමට නීතියෙන් අවසර නොලැබේ. නිල හැඳුනුම්පත නොමැති පුහුණුකරුවන්ට පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද අහිමි වන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
බලපත්‍රලාභී හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය තොරතුරු ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ www.niss.gov.lk යන වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමට හැක. මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය ක්‍රීඩා ක්ෂේත්රයේ සියලු ක්‍රීඩා පුහුණුකරුවන්ට දන්වා සිටී.