තම පුත්‍රයා දැනටමත් ශ්‍රී ලංකාවේ වාසය කරන බවත් එනිසා තමන් 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ තේරීම් කමිටු සාමාජිකයා (Tour Selector) වශයෙන් සහභාගි වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා 'අද'ට පැවසීය.එමෙන්ම සමහර පිරිස් මේ වනවිට තම පුත්‍රයා නවසීලන්තයේ වාසය කරන බවත් එනිසා තමන් මෙම සංචාරයට තරගාවලි තේරීම් කමිටු සාමාජිකයා වශයෙන් සහභාගි වන බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවද ලැබ්රෝයි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් පළකළ තේරීම් කමිටු සභාපතිවරයා,'පුතා දැනටමත් ලංකාවේ ඉන්නේ. මම කොහොමත් ඔය තරගාවලියේ තරග තීරක ලෙස නම් කරලා තිබුණේ. මම ඒකෙන් අස්වුණා. මොකද තරගාවලියේ තේරීම් කමිටු සාමාජිකයා ලෙස යන්න අවශ්‍ය නිසා. මම 19න් පහළ ලෝක කුසලානයේ පළමු නිල තරගය ආරම්භ වීමට පෙර නවසීලන්තයට යනවා.
ජාතික කණ්ඩායමේ තේරීම් සඳහා කළමනාකරු අසංක ගුරුසිංහ මහතා (ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික) ඉන්න නිසා වෙනත් කවුරුවත් ඒ තරගාවලියේ තේරීම්වලට යන්නේ නැහැ. තරගාවලිය අතරමැද යම් කිසි අවශ්‍යතාවක් ඇති වුණොත් පමණයි තවත් තේරීම් කමිටු සාමාජිකයෙකු යන්නේ' යැයි ද පවසා සිටියේය.
එසේම මෙම තරගාවලිය සඳහා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු දරන පුද්ගලයන් සහභාගිවීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති අතර, එය හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර තරග තීරකවරයෙකු වන රොෂාන් මහානාම මහතාගේ ද දැඩි දෝෂදර්ශනයට ලක්විය.
අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති සහ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානී කේ. මතිවානන් මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පවසා සිටියේ එම තීන්දුව ක්‍රිකට් විධායක කමිටුවේ තීරණයක් බවත් ඔවුන් වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් ගරු සේවයක (Honorary) නිරත වන බවත් එනිසා අදාළ තරගාවලියට ඔවුන්ව යෝජනා කළ බවත්ය.