ආසියානු ක්‍රීඩා තරග බිමේ මෞලි මංගල්‍ය හෙවත් සිවු වසරකට වරක් පැවැත්වෙන 'ආසියානු ක්‍රීඩා උළෙලේ' 18 වැනි අදියර ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී හෙට (18දා) ආරම්භ වේ. මධ්‍යම ජකර්තාවේ ජෙලෝරා බන්ග් කර්නෝ ක්‍රීඩාංගණයේදී පුරා දින 15ක් පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනිදායින් නිමාවට පත්වේ.
'ජකර්තා පාලෙම්බැන්ග් - 2018' (Jakarta Palembang 2018) ලෙස නම්කර තිබෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගෙන සිටින රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතව ඇත. ක්‍රීඩා 40ක් ක්‍රීඩා උළෙලට ඇතුළත් අතර, එහි තරග ඉසව් 465ක් යටතේ තරග පැවැත්වේ.
මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 30ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 176 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වන අතර, ඔවුන් තරග පැවැත්වෙන දින අනුව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
සුපුරුදු පරිදි මෙවරද ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු අතර මලල ක්‍රීඩාවට ප්‍රධාන තැනක් හිමිව තිබේ. තරගාවලියට සහභාගිවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර දුර පැනීම ඉසව්වේ වත්මන් ජාතික ශූරයා වන ජනක විමලසිරි කෙරෙහි ඉහළ විශ්වාසයක් තබාගත හැකිය. ඔහු මේ වනවිට ආසියාවේ අංක 02, 03 ස්ථානයන් අතර රැඳී සිටියි. ජනක අවසන් වරට සහභාගිවූ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 8.14ක දක්ෂතාවක් දැක්වූ අතර, එය සැලකෙන්නේ පසුගිය වර තරගාවලියේදී රන් පදක්කම දිනාගත් චීන ක්‍රීඩකයා (මී. 8.01) දැක්වූ දක්ෂතාවද අබිබවා යාමක් ලෙසිනි.
ශ්‍රී ලංකාව මීට ඉහතදී ආසියානු ක්‍රීඩා උළෙලක් සඳහා මීටර 3000 බාධක දිවීම ඉසව්වට ක්‍රීඩිකාවක් සහභාගි නොවුණද, මෙවර එම ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලානි රත්නායක සහභාගි වේ. පදක්කමක් ජයග්‍රහණ කළ හැකි මට්ටමක පසුවන නිලානි, වත්මන් ආසියානු ශ්‍රේණිගත කිරීම්වල අංක 03 ස්ථානයේ රැඳී සිටියි. නිලානි අවසන් වරට සහභාගි වූ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී සිය ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවක්ද (විනාඩි 9.47.00) පිහිටුවීමට සමත් වුවාය.
මීටර 800 ඉව්වෙන් ආසියාවටම අභියෝග කළ ක්‍රීඩිකාවන් දෙපළක් වන නිමාලි ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න දෙදෙනා ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ තවත් බලාපොරොත්තුවකි. ඔවුන් දෙදෙනා පසුගිය වසරේදී ඉන්දියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් හා රිදී පදක්කම් දිනාගැනීමට සමත් වූහ. එමෙන්ම ශ්‍රී ලංකා මීටර 4x400 කණ්ඩායමද මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ වත්මන් ආසියානු අනුශූරයන් ලෙසිනි. ඉකුත් වසරේ (2017) ඉන්දියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට හැකිවිය. එම පදක්කමට හිමිකම් කියූ ක්‍රීඩකයෝ රැසක්ම මෙවරද තරග වදිති.
මේ දක්වා පැවති ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව රන් 11ක්, රිදී 11ක් හා ලෝකඩ 24ක් සමගින් සමස්ත පදක්කම 46ක් ජයග්‍රහණය කර තිබේ. ඉන් ක්‍රීඩාවක් ලෙස වැඩිම පදකක්කම් දිනා ඇත්තේ මලල ක්රීඩාවෙනි. රන් 10ක්, රිදී 06ක් හා ලෝකඩ 11ක් ලෙස පදක්කම් 27ක් ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් පදක්කම් දිනා තිබේ. එක් රිදී පදක්කමක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හිමිවීම හැරෙන්න ශ්‍රී ලංකාව වෙනත් කිසිඳු ඉසව්වකින් රන් පදක්කම් ජයග්‍රහණය කර නොමැත.
ආසියාව තුළ බොක්සිං ක්‍රීඩාව වඩාත් ඉහළ ස්ථානයක රැඳී තිබෙන ක්‍රීඩාවක් වන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩකයන්ට පදක්කමක් වෙනුවෙන් ප්‍රබල සටනක් දීමට සිදුවේ. බොක්සිං ක්‍රීඩාවෙන් ඉදිරිපත්වන තරගකරුවන් අතරින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දිනූ අනූෂා කොඩිතුවක්කු, තිවංක රණසිංහ හා ඉශාන් බණ්ඩාර තිදෙනා කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තු තබා සිටියි.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව ඉන්දික දිසානායක (කි.ග්රෑ. 69) කෙරෙහි කේන්ද්‍රගත වී තිබේ. ඔහුද ඉකුත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගැනීමට සමත් විය. මෙම පදක්කමත් සමග ඉන්දික ලෝක බර ඉසලීම ක්‍රීඩකයන් වර්ගීකරණයේ ආසියාවේ 03 වැනියා දක්වා ඉදිරියට පැමිණ සිටියි.
ශ්‍රී ලංකා රග්බි යනු ආසියානු තරග බිමේ ඉහළින් රැඳී තිබෙන ක්‍රීඩාවක් වන අතර, ටෙස්ට් (15 සාමාජික), සත් සාමාජික ලෙස වෙනසකින් තොරව ශ්‍රී ලංකාව දෙයංශයෙන්ම දස්කම් දක්වන හෙයින් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමද පදක්කමක් දිනනු ඇතැයි බලාපොරොත්තුවෙන් තැබිය හැක.
මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට බීච් වොලිබෝල් (වෙරළ වොලිබෝල්) ක්‍රීඩාවෙන් පදක්කමක් ජයග්‍රහණය කළ නොහැකි වුවත්, ශ්‍රී ලංකා බීච් වොලිබෝල් යනු අවසන් මොහොත දක්වාම සටන් වදින බවට ප්රකටය. එය මෙවර පදක්කමකින් අවසන් කිරීමට වුවද හැකියාව තිබේ.
අසංක ප්‍රදීප්, මලින්ද යාපා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන තරගකරුවෝ වෙති. ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම්වල වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ 08, 09 ස්ථානයන්හි රැඳී සිටියි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායමක්ද වසර ගණනාවකට පසු මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වේ. වොලිබෝල් සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි වෙන්නේ 1966 වසරෙන් පසුව වෙයි.
සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් වන ශ්‍රී ලංකා හොකී කණ්ඩායමද නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමගින් මෙවර සහභාගි වෙති.
රටවල් 12ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙවර ක්‍රීඩා උළෙලේ තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව 'ඒ' කාණ්ඩය යටතේ තරග වදින අතර, එම කාණ්ඩයෙන් ජපානය, ඉන්දියාව, කොරියාව, හොංකොං සහ සත්කාරක ඉන්දුනීසියාව ක්‍රීඩා කරයි. 'බී' කාණ්ඩයට මැලේසියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඕමානය, තායිලන්තය සහ කසකස්තානය අයත් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට කුමන කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට සිදු වුවත්, එය පදක්කමක් දක්වා ඉදිරියට යාමට ඇති අවස්ථාව අල්පය.
පසුගිය මාර්තු මස ඕමානයේදී පැවැති ආසියානු ක්‍රීඩා මූලික තරග මාලාවේදී ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට වරම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.