ස්පාඤ්ඤ 'ලා ලිගා' පාපන්දු තරගාවලියේ පෙරේදා (16දා) පැවැති තරගයකින් ලෙගනේස් කණ්ඩායම පරාජය කරමින් ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බාසිලෝනා කණ්ඩායම සමත් විය. මෙම තරගය නොව් කැම්ප්හිදී පැවැත්විණි.
'කෝවිඩ්-19' වෛරසයෙන් පසු ලා ලිගා තරග කිහිපයක් මේ වනවිට පවත්වා අවසන් වූවත්, බාසිලෝනා මවු ක්‍රීඩාංගණය වන නොව් කැම්ප්හිදී පැවැති පළමු තරගය මෙය විය.
මෙහිදී බාසිලෝනා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය 17 හැවිරිදි අන්සු පැටී තරගයේ 42 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඔහු මෙවර තරගවාරයේ වාර්තා කළ 05 වැනි ගෝලය මෙය වීමද සුවිශේෂී වෙයි.
අන්සු පැටී අප්‍රිකානු රාජ්‍යයක් වන, ගිනිබිසව්හිදී උපත ලැබූවෙකි. අන්සු කුඩාකලදී ඔහුගේ පියා පෘතුගාලය වෙත සංක්‍රමණය වූ අතර, ඒ අවසරයෙන් පසුකාලීනව පැටීටද පෘතුගාලයේ අසල්වැසි රාජ්‍යය වන ස්පාඤ්ඤය වෙත පැමිණීමට අවස්ථාව උදාවිය.
තරගයේ 69 වැනි මිනිත්තුවේදී බාසිලෝනා වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ලියොනල් මෙසී සමත් වූ අතර, එය ඔහු ක්‍රීඩා සමාජ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් වාර්තාකළ 699 වැනි ගෝලය වීමද විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කරගැනීමට බාසිලෝනා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගියේය. මේ වනවිට තරග 29කට ක්‍රීඩාකර ඇති බාසිලෝනා කණ්ඩායම ඉන් තරග 20ක් ජයගෙන ඇති අතර, තරග 04ක් ජයපැරදුමෙන් තොරව අවසන් කර ඇත. කෙසේ නමුත් ඔවුන් තරග 05ක් පරාජයට පත් වී තිබේ.