සිම්බාබ්වේ තරගාවලියේදී පුහුණුකාර ධුරය නික් පෝතාස්ට හෝ අසංක ගුරුසිංහට?
නව පුහුණුකරු පත්කිරීම ඉන්දීය සංචාරයට පෙර
මාස 15කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ දකුණු අප්‍රිකානු ජාතික ග්රැහැම් ෆෝඩ් මහතා (ෆෝඩි) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිඛිතව ක්‍රිකට් ආයතනයට පෙරේදා (24දා) දැනුම් දී ඇත.
ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද අනපේක්ෂිත පරාජය හේතුවෙන් කණ්ඩායම තුළ යම් යම් මතභේද කිහිපයක් වාර්තා වූ අතර, නායක මැතිව්ස් මෙන්ම පුහුණුකරු ෆෝඩ්ද සිය තනතුරුවලින් ඉවත්වන බව වාර්තා වුවත් එය සිදු නොවුණි. කෙසේ වෙතත් පසුගිය සතියේදී ෆෝඩ් මහතා හදිසියේම නිවාඩු ලබා සිය රට ගොස් තිබුණේ තමා නවාතැන්ගෙන සිටි නිවසේ (Apartment) සියලු බඩු භාණ්ඩද රැගෙනයි.
ෆෝඩ්ගේ ඉවත්වීම පිටුපස ඔහුට එල්ල වූ බලපෑම් කිහිපයක් පැවති බවට අනාවරණය වන අතර, එහිදී කණ්ඩායම තේරීමේදී ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරීන්ගෙන් වන බලපැම් හා ළඟකදී කණ්ඩායම හා එක්වූ නිලධාරියෙක් අතර වූ විරසකයක්ද වන බව අනාවරණය වේ.
කෙසේ වෙතත් කලකිරීමෙන් යුතුව ශ්‍රී ලංකා පුහුණුකාර ධුරයට සමුදුන් ෆෝඩ් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙරට තරුණ ක්‍රීඩකයන්ට දීප්තිමත් අනාගතයක් ඇති බව හා ඔවුන්ව නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවය.
ෆෝඩ්ගේ සමුගැනීමත් සමග පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ එළැඹෙන (මෙම මස 30 දා ඇරඹෙන) සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පුහුණුකරු (Interim Coach) ලෙස පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථිර පුහුණුකරුවෙකු පත්කිරීම ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා මෙරට දී පැවැත්වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සිදුකිරීමට ක්‍රිකට් බලධාරීහු මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් සිටිති.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, සිම්බාබ්වේ තරග සංචාරයට තවමත් පුහුණුකරුවෙකු නම් කර නොමැති බවත්, එය මෙම සතිය තුළදී සිදුකිරීමට නියමිත බවත්ය.
එමෙන්ම ඉන්දීය කණ්ඩායම මෙරටට පැමිණීමට පෙර පුරප්පාඩු වූ ජාතික පුහුණුකාර ධුරය පිරවීමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
56 හැවිරිදි ෆෝඩ් මහතා යටතේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාව වයිට්වොෂ් (පූර්ණ තරගාවලි පරාජයක්) පරාජයකට පත් කිරීම, තුන්කොන් (සිම්බාබ්වේ, බ.ඉ කොදෙව්) එක්දින තරගාවලිය ජයගැනීම, ද.අප්‍රිකා විස්සයි20 තරගාවලිය හා ඔස්ට්‍රේලියානු විස්සයි20 තරගාවලිය ජයගැනීම සුවිශේෂී ජයග්‍රහණ ලෙස දැක්විය හැකිය.
ඡායාරූපය - ඉසුරු පෙරේරා